ජාතික ලොතරැයි මණ්ඩලයට නව පනතක්

    February, 15, 2017

    වර්තමාන වෙළඳ පොළ ප්‍රවණතාවන් ද සැලකිල්ලට ගෙන, සිදු කළ යුතු වෙනස්කම් ඇතුළත් කර ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා නව පනතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    1963 අංක 11 දරන මුදල් පනත මඟින් ජාතික ලොතරැයි මණ්ඩලය ස්ථාපිත කරනු ලැබ ඇත.

    මේ වන විට එම මණ්ඩලය විසින්, දිනුම් අදින ලොතරැයි පත් නවයක් (09) සහ ක්ෂණික ලොතරැයි පත් දෙකක් (02) පවත්වාගෙන යනු ලබන අතර, එමඟින් 2015 වර්ෂයේදී උපයාගනු ලැබ ඇති ආදායම රුපියල් බිලියන 17.5 කි.

    දැනට තිබෙන පනතෙහි දක්නට ලැබෙන අඩුපාඩු නිවැරදි කරගනිමින් වර්තමානයට ගැළපෙන පරිදි එය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් පෙන්වා දෙනු ලැබ ඇත.