ජාතික ස්වාභාවික ආපදාවන් සඳහා ප්‍රතිරක්ෂණ ආවරණයට කැබිනට් අනුමැතිය

    May, 31, 2017

    2016 වර්ෂයේ අයවැය යෝජනාවක් අනුව රට තුළ ඇති වන සුළි සුළං, කුණාටු, ජල ගැලීම්, නායයෑම් සහ සුනාමි වැනි ස්වභාවික ආපදා සඳහා සම්පූර්ණ රටම ආවරණය වන පරිදි ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී.

    මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ දැනට ලබා ගත හැකි ප්‍රතිලාභ තවත් ඉහළ නංවමින් වඩාත් සාර්ථක රක්ෂණ යෝජනා ක්‍රමයක් ලෙස වැඩිදියුණු කිරීම සඳහා 2017 අයවැය මඟින් රුපියල් මිලියන 500ක් වෙන් කර තිබේ.

    ඒ අනුව, අකුණු අනතුරුවලින් සිදු වන ජීවිත හානි, විවිධ ද්‍රව්‍යයන් පුද්ගලයන් මත පතිත වීම හේතුවෙන් සිදු වන ජීවිත හානි, දැඩි සුළඟ නිසා ගස් කඩා වැටීමෙන් සිදු වන දේපළ හානි, දැඩි වර්ෂාව නිසා තාප්ප කඩා වැටීමෙන් සිදු වන දේපළ හානි සහ ස්වාභාවික ආපදා හේතුවෙන් පුද්ගලයන්ට සිදු වන පූර්ණ අකර්මන්‍යතා යනාදිය සඳහා වන්දි ගෙවීම්ද ඇතුළත් කරමින් ප්‍රතිලාභ ලබා දීම වඩාත් පුළුල් කිරීම සිදු කර තිබේ.

    මෙම රක්ෂණ ක්‍රමය යටතේ ජාතික රක්ෂණ භාර අරමුදල විසින් රුපියල් බිලියන 15ක රක්ෂණාවරණයක් ලබා දී ඇති අතර එම අරමුදල සඳහා සිදු විය හැකි අසාමාන්‍ය අලාභයන් වැළැක්වීමේ අරමුණින් ප්‍රතිරක්ෂණ ආවරණයක් ලබාගත යුතුව ඇත.

    ඒ සඳහා තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි ප්‍රතිරක්ෂණ සමාගමක් තෝරාගැනීමටත්, ඒ සඳහා වන වාරික මුදල් ගෙවීමටත්, අදාළ ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.