ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් රන් සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මාන දෙකක් දිනයි

    October, 8, 2019

    ජීවිත රක්ෂණ උපදේශකයින්ගේ ජාතික සමුළුව (NAFLIA) විසින් පසුගියදා පැවැත්වූ 2019 වසරේ රක්ෂණ වැඩසටහනට ඇතුළත් වූ ජීවිත රක්ෂණ අලෙවි සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමේ ප‍්‍රමුඛතම රක්ෂණ වෘත්තිකයින් දෙදෙනෙකු වන ජී.ජී. බොතේජු මහතා සහ ඒ.අයි.පී. මංජුල මහතා ‘හොඳම උපදේශකයින්’ ලෙස බුහුමනට ලක්විය.

    මෙම තරඟය ශ‍්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සෑම සැප්තැම්බර් මාසයකදීම සමරන ජීවිත රක්ෂණ දැනුවත් කිරීමේ මාසය (LIAM) නැමති වැඩසටහනට සමගාමීව සංවිධානය කරන අතර සෑම රක්ෂණ සමාගමක ජීවිත රක්ෂණ අලෙවි වෘත්තිකයින් සඳහා මෙම තරඟය විවෘත වේ. 2018 තරඟයේ ජයග‍්‍රහණය ලැබූ තරඟකරුවන්ට සම්මාන ප‍්‍රදානය 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී සිදුකරන ලදී. මෙහිදී, ඉහළ කාර්යසාධනයකින් යුතු සමාගම් සහ ඉහළ දක්ෂතාවයක් පෙන්වූ ජීවිත රක්ෂණ අලෙවි වෘත්තිකයින් ඇගයීමට ලක් විය.

    මේ අනුව, මේ වසරේදී සියළුම සමාගම් ඇතුළත් වන පරිදි ජාතික තලයේ සම්මාන පිරිනැමූ අතර තම තමන්ගේ සමාගම්වල රක්ෂණ වාරික ආදායම් වලට අනුව ‘මහා පරිමාණ’, ‘මධ්‍යම’, හෝ ‘සුළු’ පරිමාණ යන කාණ්ඩ යටතේ ද තරඟකරුවන් තරඟ කරන ලදී. මෙහිදී, රන්, රිදී සහ ලෝකඩ සම්මාන හොඳම උපදේශක, හොඳම ඒකක ප‍්‍රධානී, හොඳම ශාඛා කළමනාකරු සඳහා මට්ටම් දෙක යටතේම ලබාදීමට කටයුතු කර තිබුණි.

    මෙහිදී, සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජී.ජී. බොතේජු මහතා ජාතික සහ මහා පරිමාණ සමාගම් කාණ්ඩය යටතේ හොඳම උපදේශකයාට හිමි රන් සම්මානය දිනාගත් අතර ඒ.අයි.පී. මංජුල මහතා ජාතික සහ මහා පරිමාණ සමාගම් කාණ්ඩය සඳහා ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත්විය.

    ‘පසුගිය වසර 15 පුරාම මෙරට ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීමට සෙලින්කෝ ලයිෆ් සමත්වුණේ මෙවැනි ජයග‍්‍රාහී වෘත්තිකයින් වෙනුවෙන් සමාගම ආයෝජනය කළ නිසයි,’ යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා සඳහන් කළේය. ‘අපගේ ප‍්‍රධාන වටිනාකම්, යහ පිළිවෙත් සහ ආචාර ධර්ම අනුව කටයුතු කිරීමට අපගේ අලෙවි වෘත්තිකයින්ට අපි මග පෙන්වනවා. මේ තුළින් ගනුදෙනුකරුවන් සමග දැඩි විශ්වාසයක් ගොඩනගා ගත හැකියි. මෙවැනි සම්මාන මගින් කර්මාන්තය තුළ සිටින සැබෑ දක්ෂයින් ඇගයීමට ලක් කරනවා. මෙම දක්ෂයින්ට අපි මේ අවස්ථාවේ සුබ පතනවා.’

    2015 වසරේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති NAFLIA හයවන වාර්ෂික සම්මන්ත‍්‍රණයේදී ජීවිත රක්ෂණ සමාගම් 15 ක සහභාගීත්වය ඇතිව ජීවිත රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නැමති වැඩසටහන ආරම්භ කරන ලදී. මෙය ජාතික තලයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් වන අතර එමගින් ජීවිත රක්ෂණයේ අවශ්‍යතාවය සහ ප‍්‍රතිලාභ පිළිබඳව ජීවිත රක්ෂණ සමාගම් සිය රක්ෂණ උපදේශකයින් මාර්ගයෙන් ජනතාව වෙත රැගෙන යයි.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 31 තුළ වසර 15 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමාගම සමත්වී තිබේ. සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

    2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සම්මාන ලැබූ සෙලින්කෝ ලයිෆ් මේ වසරේදී ICCSL විසින් මෙරට වඩාත්ම ගෞරවාදරයට පත් සමාගම් 10 ලයිස්තුවට ඇතුළත් කර තිබේ. එසේම, 2018 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම පස්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සහ ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 13 වසරක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය රක්ෂණ සමාගම ලෙසින් සමාගම සම්මානයට පාත‍්‍රකර තිබේ.

     

    සේයාරු සටහන - සෙලින්කෝ ලයිෆ් සමාගමේ සම්මාන ජයග‍්‍රාහකයින් වන ජී.ජී. බොතේජු මහතා (වමේ) සහ ඒ.අයි.පී. මංජුල මහතා.