ජීවිත රක්ෂණ සේවා තැපෑල මගින්

    December, 5, 2016

    රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කෙරෙන බද්ධ සේවා යටතේ නව නියෝජිත සේවාවක් ක්‍රියාත්මක කිරිමට ශ්‍රී ලංකා තැපෑල මගින් පියවර ගැනුණි. ඒ අනුව සෙලින්කෝ ලයිෆ් ආයතනයේ ජීවිත රක්ෂණ තැපෑල මගින් ලබාගැනීමට මහජනතාවට අවස්ථාව සැලසෙනු ඇත.

    මෙහි සමාරම්භක අවස්ථාව තැපැල් , තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොම්පඤ්ඤ වීදිය තැපැල් කාර්යාල පරිශ්‍රයේදී පසුගිය දින සිදු කෙරිණි.

    එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ තැපෑලේ ප්‍රමුඛ වගකීම වන්නේ ජනතාවට වඩාත් යහපත් සේවා සැපයීම බවයි. ඒ අරමුණ පෙරදැඩි කරගෙන ජීවිත රක්ෂණයේ ප්‍රමුඛ ආයතනයක් වන සෙලින්කො ලයිෆ් සමඟ බද්ධ ව්‍යාපාරයකට මූලාරම්භය සටහන් කළ බව ද එතුමා සඳහන් කළේය.

    පසුගිය කාල වකවානුව පුරාවට තවත් බද්ධ සේවාවන් රැසක් ආරම්භ කළ බව සඳහන් කළ අමාත්‍යවරයා, දුරකතන හා විදුලි බිල්පත් සේවා ඒ අතර ප්‍රධාන වන බව ද අවධාරණය කළේය. මීට අමතරව ජල බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කොට ඇති බවත් ඉදිරියේ දී ඊට යහපත් ප්‍රතිචාර අපේක්ෂා කරන බවත් එතුමා කියා සිටි අතර සන්නිවේදන හා තාක්ෂණික අංශයන් ලොව පුරා සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින බවත් මේ වන විට ශ්‍රි ලංකාව ද එහි ගොදුරක් බවට පත්ව ඇතැයි ද පැවැසීය.

    ඉදිරියේ දී බද්ධ ව්‍යාපාර සඳහා තාක්ෂණික සේවා ද හඳුන්වා දීමට නියමිත අතර ඒ තුළින් තැපෑලේ සේවා ජාලය පුළුල් මට්ටමකට ගෙන ඒම තමන්ගේ අපේක්ෂාව බව මෙහි දී වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් වසන්ත හපුආරච්චි, තැපැල්පති රෝහණ අබේරත්න, සෙලින්කො ලයිෆ් ආයතනයේ නියෝජ්‍ය විධායක නිලධාරී තුෂාර රණසිංහ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.