ජූනි 20 වන දින සිට එමිරේට්ස් කොළඹින් පිටතට මගී ගුවන් ගමන් අරඹයි

    June, 16, 2020

    විදේශිකයන්ට සහ විදෙස් රටවල වෙසෙන තම පවුලේ සාමාජිකයන් හා එක්වීමට, රැකියා සඳහා යාමට සහ අධ්‍යාපන ලැබීමට යාමට පහසුකම් සැපයීම සඳහා ජූනි මස 20 වන දින සිට නැවත ශ‍්‍රී ලංකාවෙන් පිටතට මගී ගුවන් සේවාවන් ආරම්භ කරන බව එමිරේට්ස් නිවේදනය කර ඇත.

    මේ වන විට එමිරේට්ස් ගුවන් සේවය ඩුබායි කේන්ද්‍රකොට ගනිමින් ආසියාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව යන කලාප සම්බන්ධ කරමින් ගමනාන්ත 30ක් වෙත මගී ගුවන් ගමන් පවත්වාගෙන යන අතර සෙසු රටවල් තම ගුවන් තොටුපලවල් මගී ගුවන් ගමන් සඳහා විවර කළ සැනින් තම ගමනාන්ත ජාලය තව දුරටත් ව්‍යාප්ත කිරීමේ අපේක්ෂාවෙන් පසුවේ.

    මේ අනුව ජූනි 20 වන දින සිට එමිරේට්ස් කොළඹින් පිටතට මගී සහ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන සේවාවන් 2ක් සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම බෝයිං 777-300 ගුවන් යානයක් යොදා ගනිමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ (BIA) සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපල (DXB) වෙත ආරම්භ කරනු ඇත. කෙසේ වුවද එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සංචාරය කරනු ලබන මගීන් එරට නේවාසික අවශ්‍යතා සපුරාලිය යුතු අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා සංක‍්‍රමණය වන මගීන් අවසාන ගමනාන්තයට ඇතුළු වීමේ අවශ්‍යතා සැපිරීම අත්‍යවශ්‍ය වේ.

    සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනවලම ගුවන් භාණ්ඩ පමණක් ප‍්‍රවාහනය කරනු ලබන ගුවන් ගමන් අංක EK2528 යානය ඩුබායි සිට කොළඹ බලා පැමිණෙන අතර එය ගුවන් ගමන් අංක EK2529 ලෙස සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම 01:00 පැයට පිටත්ව 03:45 පැයට ඩුබායි වෙත ලඟාවනු ඇත. සියලූ වේලාවන් අදාළ රටේ දේශීය වේලාව වේ. ජූලි මස සේවාවන් රජයේ අනුමැතිය මත සිදු වේ.

    ”සැබවින්ම එමිරේට්ස් සේවාවන් නැවත ආරම්භ වන තුරු නොඉවසිල්ලෙන් බලා සිටි අපේ හිතවත් පාරිභෝගිකයන්ට මෙය ඉතා සතුටුදායක ආරංචියක්,” මේ පිළිබඳව තම අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කලාපීය කළමණාකාර චන්දන ද සිල්වා මහතා පැවසීය. ”ශ‍්‍රී ලංකාව වෙත පැමිණෙන සාමාන්‍ය මගී ගුවන් යානා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණීම තවමත් අත්හිටුවා ඇති පසුබිමක මෙම ගුවන් ගමන් ආරම්භ කිරීම ඉතා වැදගත් ආරම්භක පියවරක්. අපි අදාළ වගකිව යුත්තන් සමග කටයුතු කරමින් ගුවනේදී මෙන්ම ගුවන් තොටුපලේද භාවිතා කළ යුතු වැඩි දියුණු කළ සනීපාරක්ෂක සහ ආරක්ෂක ක‍්‍රම යොදා ගැනීමට කටයුතු කොට තිබෙනවා.” ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    තම ගුවන් මගීන්ගේ ගමන් බිමන් වලදී ගුවනේ මෙන්ම ගුවන් තොටුපළේද සෑම පියවරකදීම පාරිභෝගිකයන්ගේ සහ සේවක පිරිසේ ආරක්ෂාව තහවුරු කරනු පිනිස එමිරේට්ස් අංගසම්පූර්ණ ක‍්‍රියාමාර්ග රැසක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරයි. මගීන් යානයට නංවා ගැනීමේදීද ඔවුන්ගේ ආරක්ෂාව පතා එය කුඩා කණ්ඩායම් වශයෙන් සිදුකරනු ලබයි.

    සංචාරක නීති රීති ඉතා දැඩිව ක‍්‍රියාත්මක වන බැවින් ගමනාන්ත රටවල් විසින් දක්වා ඇති අවශ්‍යතා සපුරන අය පමණක් ගුවන් ගමන් සඳහා බාර ගැනීම සිදුවන බව පාරිභෝගිකයන් වෙත විශේෂයෙන් දැනුම් දෙනු ලැබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත නැවත පැමිණෙන නේවාසිකයන් සපුරාලිය යුතු නවතම අවශ්‍යතා https://www.emirates.com/ae/english/help/flying-you-home/ වෙබ් අඩවියට පිවිසීමෙන් දැනුවත් විය හැක.

    මීට අමතරව එමිරේට්ස් ගුවන් ගමන් සහ වත්මන් සේවාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු www.emirates.com/wherewefly වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිය.

    කොවිඞ්-19 වසංගතය හේතුවෙන් වාණිජ ගුවන් ගමන් ඇනහිට තිබීමෙන් අනතුරුව මෙරට සැපයුම් දාමය විවෘතව තබා ගැනීමට උපකාර කිරීමේ අරමුණින් අපනයනයට උර දීම සඳහා ශ‍්‍රී ලංකාව වෙත ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා පමණක් පැමිණෙන එමිරේට්ස් ගුවන් ගමන් 2020 මැයි 11වන දින ආරම්භ විය. එමිරේට්ස් 1986 අපේ‍්‍රල් 1 වන දින සිට තම සිව්වන විදෙස් ගමනාන්තය ලෙස කොළඹ නගරය දක්වා සේවාවන් ආරම්භ කරන ලදි. කොවිඞ්-19 වසංගතය හේතුවෙන් තාවකාලිකව මගී ගුවන් ගමන් නතර කිරිමට පෙර එමිරේට්ස් මහාද්වීප 6ක ගමනාන්ත 159ක ගෝලීය ජාලයක් සම්බන්ධ කරමින් කොළඹ සිට සහ කොළඹ වෙත දිනකට ගුවන් ගමන් 4ක් පවත්වාගෙන යන ලදි.