ජූලි මාසයේ උද්ධමනයේ සුළු වැඩිවීමක්

    August, 22, 2019

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනයආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන්, 2019 ජුනි මාසයේ පැවති සියයට 2.1 හි සිට 2019 ජූලි මාසයේ දී සියයට 2.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. මේ අතර, 2019 ජූලි මාසයේ දී, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහිම ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙලින් සියයට -2.5 සහ සියයට 6.1 ක් ලෙස වාර්තා විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2019 ජූනි මාසයේ පැවති සියයට 2.0 හි සිට 2019 ජූලි මාසයේ දී සියයට 1.9 දක්වා පහළ ගියේය.

    මාසික වෙනස් වීම සලකා බැලීමේ දී, ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිල ගණන්වල දක්නට ලැබුණු ඉහළ යෑම් හේතුවෙන්, 2019 ජූලි මාසයේ දී ජා.පා.මි.ද. 0.2%කින් ඉහළ ගියේය. ආහාර කාණ්ඩයෙහි අමු මිරිස්, මාළු සහ අල මිලගණන්වල ඉහළ යෑම් වාර්තා විය. මීට අමතරව ආහාර නොවන කාණ්ඩයෙහි නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන සහ විනෝදාත්මක සහ සංස්කෘතික කටයුතු උපකාණ්ඩයන්හි අයිතමවල මිලගණන් ද මෙම මාසය තුළ දී ඉහළ ගියේය.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2019 ජූලි මාසයේ දී සියයට 6.1 හි නොවෙනස්ව පැවතිණි. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2019 ජූනි මාසයේ පැවති සියයට 4.4 හි සිට 2019 ජූලි මාසයේ දී සියයට 4.7 දක්වා ඉහළ ගියේය.