ජූලි මාසයේ දී උද්ධමනය පහළට

    August, 23, 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 ජූනි මාසයේ දී වාර්තා කළ 6.4% සිට 2016 ජූලි මාසයේ දී 5.8% දක්වා පහළ ගොස් ඇත. 2016 ජූලි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2016 ජූනි මස වාර්තා වූ 3.1% හි සිට 2016 ජූලි මස දී 3.4% දක්වා ඉහළ ගියේය.

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සැලකූ විට 2016 ජූනි මාසයේ වාර්තා වූ දර්ශක අංක 116.1 සිට 2016 ජූලි මාසයේ දී දර්ශක අංක 115.2 දක්වා 0.8% ක අඩුවීමක් වාර්තා වේ. මෙම අඩුවීම සඳහා ආහාර කාණ්ඩයේ අයිතමයන් හි මිල ගණන් පහළ යාම ප්‍රධාන වශයෙන් හේතු විය.

    එළවළු, පොල්, නැවුම් මත්ස්‍ය, සීනි, දෙහි සහ වියළි හාල්මැස්සන් මිල ගණන් මාසය තුළ දී පහළ ගියේය. ආහාර නොවන කාණ්ඩය තුළ සෞඛ්‍ය, සන්නිවේදන සහ විනෝදාත්මක හා සංස්කෘතික යන උපකාණ්ඩයන් හි මිල ගණන් 2016 ජූලි මාසය තුළ දී පහළ ගියේය. ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, ප්‍රවාහන, ආපනශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා යන උපකාණ්ඩවල මිල ගණන් 2016 ජූලි මාසය තුළ දී ඉහළ ගියේය. මේ අතර මද්‍යසාර පාන හා දුම්කොළ උප කාණ්ඩයෙහි මිල ගණන් 2016 ජූලි මාසය තුළ දී ඉහළ ගියේය. කෙසේ වුවද රෙදිපිළි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන සහ අධ්‍යාපන උප කාණ්ඩ මාසය තුළ දී නොවෙනස්ව පැවතුණි.

    මේ අතර ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝලික මිල දර්ශකයේ මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 ජූනි මස පැවති 7.5% සිට ජූලි මස වන විට 6.8% දක්වා පහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය ජාතික පාරිභෝගික මිල දර්ශකය මූලික උද්ධමනය 2016 ජූනි මස වාර්තා වූ 5.3% සිට 2016 ජූලි මස වන විට 5.5% දක්වා ඉහළ ගියේය.