ජේම්ස් පැකර් ඇතුළු ආයෝජකයින් පැමිණීම අවධානමකට ලක්වෙලා -ෆයිසර් මුස්තාෆා

    May, 2, 2014

    ආණ්ඩුවේ පාර්ශවකාර ජාතික හෙළ උරුමය ඇතුළුව ක්‍රමෝපාය සංවර්ධන පනතේ ගැසට් නිවේදන වලට විපක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිතා කළ අයගේ විරෝධතා නිසා ජේම්ස් පැකර් ඇතුළු විදේශීය ආයෝජකයින් මෙරටට පැමිණීම අවධානමකට පත්ව ඇතැයි ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කියයි.

    අද කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ සියයට 07 කට ආසන්න ආර්ථික වර්ධනය ළඟාකර ගැනීම සඳහා ලංකාව අනිවාර්යෙන්ම සෘජු විදේශීය ආයෝජන වැඩි වැඩියෙන් ගෙන්වා ගත යුතු බවයි.

    ගෝලීය වශයෙන් සලකන විට විදේශීය සෘජු ආයෝජන ගෙන්වා ගැනීම ඉතාමත් තරගකාරී තත්ත්වයේ තිබෙන බවත් බොහෝ රටවල් විවිධ සහන ලබාදෙමින් එම රටවලට විදේශීය ආයෝජන තරගකාරී අයුරින් ගෙන්වා ගැනීමට යොමුවී තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

    ආයෝජකයින් රටකට පැමිණීමට පෙර ආණ්ඩුව මෙන්ම විපක්ෂයේ ක්‍රියාකාරකම්ද හොඳින් නිරීක්ෂණය කරන්නේ යැයි මෙහිදී ෆයිසර් මුස්තාෆා මහතා අවධාරණය කළේය.

    ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින්ද වාර්තා කර තිබුණේ ක්‍රමෝපාය සංවර්ධන පනතට අදාළව පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ගැසට් නිවේදන වලින් කැසිනෝ සඳහා නිශ්චිතවම ප්‍රතිපාදන ඉදිරිපත් කර නොමැති නිසා ජේම්ස් පැකර් ලංකාවේ ආයෝජනය කිරීම යම් අවධානමකට පත්ව තිබෙන බවයි.