ජේම්ස් පැකර් ගැන අපි බලාපොරොත්තුවෙන් -ඇමති ලක්ෂ්මන් යාපා

    October, 2, 2014

    හතලිස් හත් හැවිරිදි ඕස්ට්‍රේලියානු ආයෝජක ජේම්ස් ඩග්ලස් පැකර් විසින් දේශීය ව්‍යාපාරික රවී විජේරත්න සමග එක්ව ගොඩනැගූ “ද ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස්“ සමාගම විසින් කොළඹ සිදුකිරීමට සැලසුම් කර තිබෙන මිශ්‍ර හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව රජය තවදුරටත් බලාපොරොත්තු තබාගෙන සිටින බවත් එම ව්‍යාපෘතිය සිදුකරන ඉඩමට ගෙවිය යුතු මුදල් වලින් ඔවුන් විසින් සියයට 20 ක පමණ ප්‍රමාණයක් මේ වනවිට ගෙවා තිබෙන බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා කීය.

    අප සමග අදහස් දක්වමින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.

    “මේ ව්‍යාපෘතිය පිළිබඳව අදහස රජය අත්හැරල නෑ. ව්‍යාපෘතිය සිදුකිරීමට අළුතින් ගිවිසුමක් අත්සන් කරන්න ඕන. රජය වෙනස් කරපු ගැසට් නිවේදනවල සඳහන් ආකාරයට ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා.“

    “මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට රජය විසින් කල්බදු ක්‍රමයට ලබාදෙන අක්කර 04 ක පමණ ඉඩමට ගෙවිය යුතු මුදල් වලින් සියයට 20 ක් පමණ ජේම්ස් පැකර් හා රවී විජේරත්න පාර්ශවය විසින් ගෙවා තිබෙනවා.“

    මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට සැලසුම් කර තිබෙන ඉඩම කොළඹ ලේක් හවුස් ඉදිරිපිට බේරේ වැවට මුහුණලා පිහිටා තිබෙන අතර ඩොලර් මිලියන 400 ක් පමණ ආයෝජනය කරමින් මෙහි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණි.

    මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන රවී විජේරත්න මහතා සමග එක්ව ජේම්ස් පැකර් විසින් ආරම්භ කිරීමට සූදානම් වූ මෙම ව්‍යාපෘතියේ කැසිනෝ සූදු ආරම්භ කිරීමට සූදානම් වන්නේ යැයි දැවැන්ත විරෝධතාවයක් ඇතිවූ අතර පසුව රජය විසින් අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබුවේ කැසිනෝ යන වචනය නිශ්චිතවම සඳහන් නොකරමිනි.

    ජේම්ස් පැකර්, ධම්මික පෙරේරා සහ ජෝන් කීල්ස් සම්බන්ධ වන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති තුන සඳහා මීට පෙර පැවති ගිවිසුම් අවලංගු කරමින් නව ගිවිසුම් වලට එළඹීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ නිසා කටයුතු කර තිබේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මීට පෙර අවස්ථාවක පැවසුවේ මෙම ව්‍යාපෘති තුන සඳහා පසුගියදා පාර්ලිමේන්තුව විසින් අනුමත කළ සහන පමණක් ඇතුළත් කරමින් මෙම නව ගිවිසුම් තුන අදාළ පාර්ශව සමග අත්සන් කරන බවයි.