ජේම්ස් පැකර් ලංකාවේ හෝටලය නතර කරයි

    January, 30, 2015

    නව රජය විසින් බදු සහන කපා දැමීම හමුවේ ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් විසින් කොළඹ ලේක්හවුස් ඉදිරිපිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ ඩොලර් මිලියන 400 ක් වටිනා ලේක් ලෙෂර් හෝටල් ව්‍යාපෘතිය නතර කළබව ක්‍රවුන් සමාගම පවසා ඇත.

    මේ බව සඳහන් කරමින් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ නව රජයේ කැසිනෝ බදු සහන ඉවත් කිරීමේ යෝජනාවට අනුව යමින් මෙම ව්‍යාපෘතිය නතර කරන බව ක්‍රවුන් සමාගම සඳහන් කර තිබෙන බවයි.

    ජේම්ස් පැකර් නායකත්වය දෙන ඕස්ට්‍රේලියානු ක්‍රවුන් සමාගම විසින් දේශීය ව්‍යාපාරික රවී විජේරත්න මහතා සමග එක්ව මෙම හෝටල් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ අනුමත කර තිබෙන ව්‍යාපෘතිවල කැසිනෝ ව්‍යාපාරික කටයුතු කිරීම කැබිනට් මණ්ඩලය විසින් තහනම් කර තිබෙන බවත් කැසිනෝ හැර එම ව්‍යාපෘතිවල අනිකුත් සියළුම ව්‍යාපාරික කටයුතු සඳහා බදු සහන ලබාදෙන බවයි.

    මෙම ව්‍යාපෘතියට අමතරව, ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්හි වෝටර් ෆ්‍රන්ට් ව්‍යාපෘතියට හා ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන ක්වීන්ස්බරි ව්‍යාපෘතියට බදු සහන ලබාදී තිබේ.