ජේම්ස් පැකර්, JKH සහ ධම්මිකගේ මිශ්‍ර ව්‍යාපෘති සමග තිබූ ගිවිසුම් අහෝසියි

    April, 30, 2014

    ජේම්ස් පැකර්, ධම්මික පෙරේරා සහ ජෝන් කීල්ස් සම්බන්ධ වන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති තුන සඳහා මීට පෙර පැවති ගිවිසුම් අවලංගු කරමින් නව ගිවිසුම් වලට එළඹීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සූදානම් වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේ මෙම ව්‍යාපෘති තුන සඳහා පසුගියදා පාර්ලිමේන්තුව විසින් අනුමත කළ සහන පමණක් ඇතුළත් කරමින් මෙම නව ගිවිසුම් තුන ඉදිරියේදී අදාළ පාර්ශව සමග අත්සන් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සූදානම් වන බවයි.

    “මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති තුන සඳහා පාර්ලිමේන්තුව විසින් ලබාදුන් අනුමැතිය තමයි ලොකුම ගිවිසුම. එය තව තවත් ශක්තිමත් කරමින් තමයි අදාළ පාර්ශව සමග ආයෝජන මණ්ඩලය මෙම නව ගිවිසුම් වලට එළඹෙන්නේ. පාර්ලිමේන්තුව විසින් අනුමත කළ සහන වලට අමතරව කිසිදු සහනයක් මෙම ගිවිසුම් වලින් ලබාදීමේ බලය ආයෝජන මණ්ඩලයට නෑ.“

    යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා අප සමග සඳහන් කළේය.

    මෙම ව්‍යාපෘතියට කැසිනෝ ඇතුළත් නොවන්නේ නම් ජේම්ස් පැකර් සම්බන්ධ කර ගැනීම අසීරු වනු ඇතැයි ඇතැම් ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබීම සම්බන්ධයෙන් අප විමසා සිටි අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

    “අනිකුත් සියළුම සහන ලබාදෙන නිසා ජේම්ස් පැකර් සම්බන්ධ කර ගැනීම අසීරු වනු ඇතැයි මම හිතන්නේ නෑ.“

    මින් එක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන්නේ හතලිස් හත් හැවිරිදි ඕස්ට්‍රේලියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ජේම්ස් ඩග්ලස් පැකර්ගේ ඩොලර් මිලියන 350 ක දැවැන්ත ආයෝජනය මූලික කරගනිමින් “ද ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස්“ පුද්ගලික සමාගම විසිනුයි.

    ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන “ද ක්වීන්ස්බරි ලෙෂර් ලිමිටඩ්“ සමාගම සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට අනුබද්ධ “වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපර්ටීස් ප්‍රයිවට් ලිමිටඩ්“ සමාගම අනිකුත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට නියමිතයි.