ජෝන් කීල්ස් කොටස් ගනුදෙනුවේ ගැණුම්කරු මෙන්න

    January, 9, 2020

    අද (09) උදෑසන සිදුවූ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් ගනුදෙනුවේ ගැණුම්කරු CITIGROUP GLOBAL MARKETS LIMITED බව අදාළ කොටස් ගනුදෙනුව සඳහා පහසුකම් සපයන ලද තැරැව්කාර සමාගම වූ CT CLSA සිකියුරිටීස් (පුද්) සමාගම කියා සිටී.

    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි දෙවැනියාට විශාලතම කොටස්කරුවා වූ මැලේසියාවේ Broga Hill Investments Ltd, තමන් සතුව පැවති සමාගමේ සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය අද (09) පෙරවරුවේ දී විකුණා දමන ලදී. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී යනු වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගමයි.

    මෙහිදී කොටස් මිලියන 141.85 ක් රු. 160.00 බැගින් ගනුදෙනු වූ අතර මෙහි වටිනාකම රුපියල් බිලියන 22.69 කි.

    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි නිකුත් කළ ප්‍රාග්ධනයෙන් මෙය 10.76% කි.

    මෙය ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දෙවැනියට විශාලතම තනි කොටස් ගනුදෙනුව වන අතර මීට පෙර 2008 වසරේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් ගනුදෙනුවක් හරහා රුපියල් බිලියන 33 ක පිරිවැටුමක් වාර්තා වී තිබුණි.