ජෝර්ජ් ස්ටුවර්ට් මූල්‍ය සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය මාරුවෙයි

    April, 24, 2014

    (දෙවන සංස්කරණය) - දිවැස ඉක්විටි සමාගම සතුව ජෝර්ජ් ස්ටුවර්ට් මූල්‍ය සමාගමේ තිබූ සියයට 51 ක් වන කොටස් ප්‍රමාණය උපාය මාර්ගික හුවමාරුවක් ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පනි වෙත මාරුකළ බව ජෝර්ජ් ස්ටුවර්ට් සමූහයේ සභාපති දිලිත් ජයවීර මහතා අප සමග සඳහන් කළේය.

    මේ අනුව, අද උදෑසන ගිවිසගත් ගනුදෙනුවක් ලෙස කොටසක් රුපියල් 28.80 කට ජෝර්ජ් ස්ටුවර්ට් මූල්‍ය සමාගමේ කොටස් මිලියන 11.4 ක් ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පනි වෙත හුවමාරු විය.

    මෙම ගිවිසගත් ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 329 කි.

    වත්මන් ජෝර්ජ් ස්ටුවර්ට් මූල්‍ය සමාගම 2004 ඔක්තෝම්බර් 25 වනදා ඇරඹුණේ “Asia Commerce Limited“ ලෙසයි. සමාගමට 2011 මැයි මාසයේදී මූල්‍ය සමාගමක් බවට පත්වීමේ බලපත්‍රය හිමිවූ අතර පසුව සමාගම “දිවැස ෆයිනෑන්ස් ලිමිටඩ්“ ලෙසින් සන්නාමකරණය විය. ඉන් අනතුරුව, උපාය මාර්ගික වශයෙන් වැදගත් තවත් පියවරකට යමින් සමාගම මෙරට පැරණිතම මෙන්ම කීර්තිමත් සමාගම් සමූහයක් වන ජෝර්ජ් ස්ටුවර්ට් සමූහය සමග අත්වැල් බැඳ ගත්තේය.

    මේ අනුව, සෞඛ්‍ය, නිමැවුම් කර්මාන්ත, අපනයන, සංචාරක, ඉංජිනේරු, ඉදිකිරීම්, අධ්‍යාපනික යන ව්‍යාපාර අංශයන්හි විවිධාංගීකරණ වූ ජෝර්ජ් ස්ටුවර්ට් සමූහය සමග ඒකාබද්ධව කටයුතු කිරීමේ වරප්‍රසාදය “දිවැස ෆයිනෑන්ස් ලිමිටඩ්“ වෙත හිමිවූ අතර සමාගම ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් ලෙස නැවත සන්නාමකරණය වන්නේ ඉන් අනතුරුවයි.