ටච්වුඩ් ප්‍රධානියා දුන් චෙක්පත් අගරු වූයේ ඇයි ?

    March, 7, 2014

    මූල්‍ය අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් රුක් රෝපණ සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී, විජන් ලංකා කිවුලේගෙදර විසින් ලබාදී තිබෙන රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් ඇති චෙක්පත් අගරුවීමට අදාළව සමාගම විසින් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම පිළිබඳ දැනුවත් කිරීමක් කොළඹ කොටස් වෙළඳ පොළ වෙත සිදුකර තිබේ.

    මේ අනුව, මෙම කරුණු දැක්වීම සිදුකරමින් ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ ප්‍රධානී විජන් ලංකා කිවුලේගෙදර පවසා තිබෙන්නේ මේ පිළිබඳව ඊයේ (06) කොළඹ වාණිජ මහාධිකරණයේදී විමසා බැලුණු අවස්ථාවේදී සමාගම පාර්ශවයෙන් කරුණු දැක්වීමක් කළ බවයි.

    මෙම චෙක්පත් වලට අදාළව ලැබිය යුතු විදේශීය මුදල් මෙරටට ප්‍රේෂණය කිරීම එයට සම්බන්ධ වී සිටින චීන බැංකුව විසින් ප්‍රමාද කිරීම මෙම චෙක්පත් අගරුවීමට හේතුව බව මෙහිදී ටච්වුඩ් විසින් පවසා තිබේ.

    මෙම මුදල් ප්‍රේෂණය කිරීම සඳහා චීන බැංකුව විසින් අමතර ලියකිවිලි ඉල්ලා සිටීම නිසා මෙම ප්‍රමාදය සිදුව තිබෙන බව අප වෙත අනාවරණය වේ.

    මෙම මුදල් පියවීම සඳහා තවත් කල් ලබාදෙන ලෙස ටච්වුඩ් ප්‍රධානියා අධිකරණයෙන් ඉල්ලා තිබෙන අතර මෙම නඩුව ලබන 19 වනදා යළි කැඳවේ.