• Ada Derana BIZ Sinhala
  • ComBank
  • donation
  • IT lab
  • sri lanka

ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය උදෙසා වන කොමර්ෂල් බැංකුවේ ජාතික වැඩසටහන 250 වන පරිගණක විද්‍යාගාරය පරිත්‍යාග කරයි

September, 21, 2022

ජාතික සංවර්ධන ඉලක්කයන්ට සහයෝගය ලබාදෙමින් රට වටා දරුවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන පරිගණක විද්‍යාගාර පරිත්‍යාග කිරීමේ ප‍්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහන සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින් 250 වන තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය පසුගියදා මහරගම ප‍්‍රදේශයේ පාසැලක් වෙත ලබාදෙන ලදී.

බැංකුව විසින් ජාතික මට්ටමින් පවත්වාගෙන යන මෙම වැඩසටහන මගින් සිසු දරුවන් 3200 කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන වසර 44 ක් පැරණි මහරගම ජනාධිපති විදුහල ප‍්‍රතිලාභ ලැබීය. බැංකුව විසින් ප‍්‍රදානය කළ මෙම අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විෂය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂයන් හදාරන උසස්පෙළ සිසුන් සහ තොරතුරු තාක්ෂණ විෂය හදාරන සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂයෙන් ප‍්‍රයෝජනවත් වන බව බැංකුව සඳහන් කරයි.

බැංකුව විසින් පරිත්‍යාග කර තිබෙන තොරතුරු තාක්ෂණ විද්‍යාගාර මගින් සිසු දරුවන් 230,000 කට අධික සංඛ්‍යාවක් දැනටමත් ප‍්‍රතිලාභ ලබා ඇත. මෙම තොරතුරු තාක්ෂණික විද්‍යාගාර නඩත්තු කිරීම සහ අවශ්‍ය වූ විට වැඩිදියුණු කිරීම බැංකුවේ ශාඛා ජාලයේ සම්බන්ධීකරණය අනුව සිදුකරන අතර ඒ තුළින් අනාගත පරම්පරා සඳහා මෙම තොරතුරු තාක්ෂණික විද්‍යාගාරවල තිබෙන පහසුකම් රැකදෙනු ඇත.

මෙම 250 වන සංධිස්ථානාත්මක තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් නිළ වශයෙන් විවෘත කළ අතර මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා, අධ්‍යක්ෂ රාජා සේනානායක මහතා, සහ ප‍්‍රධාන මූල්‍ය නිළධාරී, නන්දික බුද්ධිපාල මහතා සහභාගී විය. මෙම ව්‍යාපෘතිය සඳහා බැංකුවේ සමාජ සත්කාරක භාරය විසින් ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීම සඳහා බැංකුව විසින් දිගු කාලයක් පුරා සිදුකරන වැඩසටහන යටතේ අරමුදල් ලබාදෙන ලදී.

බැංකුව විසින් ප‍්‍රදානය කළ 250 වන තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘තාක්ෂණයෙන් පිරිපුන් අනාගත පරපුරක් බිහිකිරීම සඳහා අපි විසින් අඛණ්ඩව කටයුතු කරනවා. පරිගණක විද්‍යාගාර පරිත්‍යාග වලට අමතරව බැංකුව විසින් තොරතුරු තාක්ෂණික අධ්‍යාපනික පුහුණුව සඳහා ආයෝජනය කිරීම තුලින්ද මෙම සත්කාරයට අප දායක වෙනවා. දරුවන්ගේ ඩිජිටල් අධ්‍යාපනික බලාපොරොත්තු සඳහා සහයෝගයක් ලබාදෙන අතරම අපගේ තොරතුරු තාක්ෂණික වැඩසටහන් මෙරට තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ ඉලක්ක පිළිබඳවත් අවධානය යොමුකර තිබෙනවා. මෙයින් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සමාන අධ්‍යාපන අවස්ථාවක් ලබාදීම සහ සෑමදෙනා සඳහාම නිරන්තරයෙන් අධ්‍යාපන අවස්ථාවන් ප‍්‍රවර්ධනය කිරීම යන ඉලක්කය කෙරෙහි අපි අවධානය යොමුකර තිබෙනවා.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා, කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා, අධ්‍යක්ෂ රාජා සේනානායක මහතා, සහ පාසැලේ විදුහල්පති, කපිතාන් ඩබ්ලිව්. වසන්ත කුමාර මහතා, බැංකුව විසින් ප‍්‍රදානය කළ 250 වන තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවේදී මහරගම ජනාධිපති විදුහලේ ගුරු මණ්ඩලය සහ සිසු දරුවන් සමග.