ඩීපී එඩියුකේෂන් සහ කේ. අයි. යූ සරසවිය සත්කාර සේවා සපයන්නන් බිහිකිරීමට සත්කාර සේවා සැපයීම (කෙයාගිවර්) පිළිබඳ ජාත්‍යන්තර සහතිකයක් සඳහා වන මාර්ගගත ඉගෙනුම් ඇරඹුමට අඩිතාලම තබයි

    April, 27, 2023

    ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ රැකියා වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් ඇති සත්කාර සේවා සැපයීමේ (කෙයාගිවර්) රැකියා අවස්ථා සඳහා අවශ්‍ය නිපුණතා සහ කුසලතා වර්ධනය කිරීම පිණිස ඊට අවශ්‍ය දැනුම ඩිජිටල් මාධ්‍යයෙන් ලබාදීම අරමුණු කරගනිමින් ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනම සහ කේ. අයි. යූ සරසවිය පසුගිය මාර්තු 30 වනදා අවබෝධතා ගිවිසුමකට පිවිසිණි. මෙම උත්සව අවස්ථාව ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති සහ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා සහ කේ. අයි. යූ සරසවියේ සභාපති ආචාර්‍ය ජගත් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි කේ. අයි. යූ පරිශ්‍රයේදී පැවැත්විණි.

    ඒ අනුව සත්කාර සේවා සැපයීමේ (කෙයාගිවර්) රැකියා අවස්ථා සඳහා අවශ්‍ය දැනුම ලබාදීමට අදාළ ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීම හා වැඩිදියුණු කිරීමත් එම  ඩිජිටල් අන්තර්ගතයන් ඩීපී එඩියුකේෂන් මාර්ගගත ඉගෙනුම් වේදිකා හරහා නොමිලේ බෙදා හැරීමටත් අදාළව දෙපාර්ශවය විසින් මෙසේ සහයෝගීතාවකට එළඹ ඇත. මෙමඟින් සිසුන්ට NVQ 3 හා NVQ 4 සුදුසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතුද සූදානම් කර ඇත.  ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය උපයා දිය හැකි නිපුණ සංක්‍රමණිකයන් බිහිකිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව කේ. අයි. යූ සරසවිය සහ ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම මෙම ව්‍යාපෘතිය සඳහා සහයෝගයෙන් කටයුතු කරයි.

    මෘදු කුසලතා, පෞර්ෂ සංවර්ධනය, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපනය, මානසික සෞඛ්‍යය සංවර්ධනය, ධනාත්මක චින්තනය හා තවත් බොහෝ වැදගත් අංග අරමුණු කරන ඩීපී එඩියුකේෂන් ජීවන නිපුණතා (DP Education Skills for Life) ව්‍යාපෘතිය යටතේ මෙම සත්කාර සේවා සැපයීමේ මාර්ගගත පාඨමාලාව  ආරම්භ කර ඇත.

    ඩීපී එඩියුකේෂන් ජීවන නිපුණතා ව්‍යාපෘතිය මඟින් විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සිසුන්ට තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන අවස්ථා සඳහා නොමිලේ මඟ පාදන අතර NVQ 3 හා NVQ 4 සුදුසුකම් ලබාදීමට ද කටයුතු කරයි. මෙමඟින් සියළුම ශ්‍රී ලාංකිකයන්ට අධ්‍යාපන විෂමතාවලින් තොරව තමන්ට අවශ්‍ය රැකියා අවස්ථා උදාකරගත හැකි බව එහි නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාගේ අදහසයි.

    ඒ අනුව ඉදිරියේදීත් දේශීය හා විදේශීය වෙළඳපොළේ වැඩි ඉල්ලුමක් සහිත රැකියා අවස්ථා සඳහා ප්‍රවේශ වීමට ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබාදීමට ඩීපී එඩියුකේෂන් ජීවන නිපුණතා ව්‍යාපෘතිය හරහා තවත් අලුත් ව්‍යාපෘතීන් 30කට ආසන්න ප්‍රමාණයක් දියත් කිරීමට සූදානමින් සිටී. ඒ අනුව මේ වන විට විසිතුරු මත්ස්‍ය වගාවට අදාළ වීඩියෝ පාඩම් මාලා ඩීපී එඩියුකේෂන් ජීවන නිපුණතා යූටියුබ් නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැක.

    එමෙන්ම තව නොබෝදිනකින් ටයිල් ඇතුරුම්කරු (ටයිලර්) පාඨමාලා සඳහා වන වීඩියෝ පාඩම් මාලාද, සත්කාර සේවා සැපයීමේ (කෙයාගිවර්) පාඨමාලා සඳහා වන වීඩියෝ මාලාද ඔබට නැරඹීමට හැකියාව ලැබේ. ඩීපී එඩියුකේෂන් ජීවන නිපුණතා යූටියුබ් චැනලය සඳහා පිවිසෙන්න  https://www.youtube.com/@dpeducationskillsforlife