ඩී.පී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා විසින් ඩී.පී එඩියුකේෂන් කෝඩින් හා රොබොටික්ස් කැම්පස් දීපව්‍යාප්තව දියත් කිරීම අරඹයි

    April, 27, 2023

    ඩී.පී. එඩියුකේෂන්හි නවතම ව්‍යාපෘතිය වන ඩී.පී. එඩියුකේෂන් කෝඩින් සහ රොබොටික්ස් කැම්පස් හි පළමු පියවර, ඩී.පී. එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා විසින් 2023 මාර්තු 25 වන දින නුවරඑළිය කටුමාන නැණසරණ අධ්‍යාපන මධ්‍යස්ථානයෙන් ආරම්භ කරන ලදී. ඒ අනුව මෙමගින් කෝඩින්කරණය සහ රොබෝ විද්‍යාව ඉගෙනීම සඳහා උනන්දුවක් දක්වන දුවා දරුවන්ට ඩී.පී. එඩියුකේෂන් කෝඩින් පාසල සහ ඩී.පී. එඩියුකේෂන් අයි.සී.ටී ඇකඩමිය හරහා මාර්ගගත ඉගෙනුම් පහසුකම් සපයයි.

    පසුගිය මාස පහ පුරාවට කතරගම, සෙල්ලකතරගම, තිස්සමහාරාම, දෙබරවැව, අම්බලන්ගොඩ, බද්දේගම, ගාල්ල, ඇහැලියගොඩ, අනුරාධපුර, වැලිකන්ද, දඹාන, හපුතලේ, මුලතිව්, සහ ආරුගම් බොක්ක යන නගර 14 පුරා ආරම්භකරන ලද ඩී.පී. එඩියුකේෂන් කෝඩින් පාසල් නියමු ව්‍යාපෘති වල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙම ඩී.පී. එඩියුකේෂන් කෝඩින් සහ රොබොටික්ස් කැම්පස්  හඳුන්වා දී ඇත.

    ශ්‍රී ලාංකේය දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනය ලබාදීමේ දැක්මට සහය වෙමින් කටුමාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති සහ නුවරඑළිය නැණසරණ අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පූජ්‍ය ගලහිටියාගොඩ සුමනරතන හිමියෝ නුවරඑළියේ ප්‍රථම කෝඩින් සහ රොබොටික්ස් කැම්පස් ආරම්භ කිරීමට ඩී.පී. එඩියුකේෂන් සමඟ සහසම්බන්ධ වූහ. මෙමඟින් සිසුන් 600 කට අධික සංඛ්‍යාවක් සඳහා නොමිලේ කෝඩින් සහ රොබොටික්ස් විද්‍යාව ඉගෙනීමට අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇත. නැණසරණ අධ්‍යාපන මධ්‍යස්ථානයේ නව ඩී.පී. එඩියුකේෂන් කෝඩින් හා රොබොටික්ස් කැම්පස් සඳහා පරිගණක  සහ ඊට අවශ්‍ය ගෘහ භාණ්ඩ ද ඩී.පී. එඩියුකේෂන් කණ්ඩායම විසින් පරිත්‍යාග කරන ලදී. මීට අමතරව, ඩී.පී. එඩියුකේෂන් ස්මාර්ට් ක්ලාස් රූම් ව්‍යාපෘතිය යටතේ 1 සිට 13 ශ්‍රේණි දක්වා ඩිජිටල් පංතිකාමර තුනක්ද නැණසරණ අධ්‍යාපන මධ්‍යස්ථානය වෙත පිරිනැමීම මෙහිදී සිදුවිය.

    ඉදිරි වසර තුන ඇතුළත සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඩී.පී. එඩියුකේෂන් කෝඩින් හා රොබොටික්ස් කැම්පස් 331ක් විවෘත කෙරෙනු ඇත. එමඟින් දිවයින පුරා සිසුන් 165,000 කට අධික පිරිසකට පරිගණක ක්‍රමලේඛනය සහ රොබොටික්ස් විද්‍යා අධ්‍යාපනය නොමිලේ ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ. පරිගණක ක්‍රමලේඛනය හෝ රොබෝ තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට ඉගෙන ගැනීමට ඕනෑම මධ්‍යස්ථානයකට පැමිණීමට අවස්ථාව සැලසීම සඳහා දිවයින පුරා පරිගණක හත්දහසක් පමණ මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 තුළම ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව, සෑම මධ්‍යස්ථානයකටම අධ්‍යාපනික රොබෝවරුන් හතර බැගින් ලබාදී සිසුන්ගේ ඉගෙනුම් අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහාද කටයුතු යොදා ඇත. ධම්මික පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ ඩීපී එඩියුකේෂන් විසින් ශ්‍රී ලංකාවේ විශාලතම රොබෝ විද්‍යාගාරයේ ඉදිකිරීම් හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කර ඇත. මෙම විද්‍යාගාරය මඟින් ඕනෑම අයෙකුට රොබෝ විද්‍යාව සම්බන්ධ අධ්‍යාපනයට ප්‍රවේශ වීමට සහ නොමිලේ ඉගෙන ගැනීමට හැකි වනු ඇත.

    මෙවැනි මුලපිරීම් ඔස්සේ ධම්මික පෙරේරා මහතා බලාපොරොත්තු වන්නේ විසි එක්වන සියවසේ අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි, ඩිජිටල් කුසලතා වලින් පරිපූර්ණ ගෝලීය වශයෙන් තරඟකාරී පුරවැසියන් පිරිසක් අනාගතයට දායාද කිරීමයි. එමෙන්ම, මේ තුළින් සිසුන්ට වර්තමානයේ අධික රැකියා ඉල්ලුමක් සහිත මෘදුකාංග සංවර්ධනය (software development), මෘදුකාංග වැඩසටහන් කේතකරණය (software programming), දත්ත විද්‍යාව (data science) වැනි ඉහළ වැටුප් හිමිවන රැකියා ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ප්‍රවේශ වීමේ දොරටුවද විවෘත වේ.

    ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති සහ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාගේ මඟපෙන්වීම අනුව, තරුණ ශ්‍රී ලාංකික පරිගණක කේතකරුවන් (Young Sri Lankan Coders) මිලියනයක් බිහි කිරීම ඩී.පී. එඩියුකේෂන් කෝඩින් පාසල සහ ඩී.පී. එඩියුකේෂන් කෝඩින් සහ රොබොටික්ස් කැම්පස් හි ප්‍රධාන ඉලක්කයයි. මෙහි විශේෂත්වය වන්නේ මෙම මිලියනයෙන් හරි අඩක් කාන්තා කේතීකරුවන්ගෙන් (Young girl coders) සමන්විත කිරීමට එතුමන්ගේ ඇති අපේක්ෂාවයි.