ඩුබායි Gold Souk පන්නයේ ස්වර්ණාභරණ වෙළඳපොළක් අනිද්දාට පිටකොටුවේ

    September, 3, 2014

    පිටකොටුව ශාන්ත ජෝන් මාළු වෙළඳ පොළ තිබූ ස්ථානයේ ඩුබායි Gold Souk වෙළඳ පොළ පන්නයේ ස්වර්ණාභරණ වෙළඳ සැල් සඳහාම ගොඩනැගූ වෙළඳ පොළ ලබන සිකුරාදා විවෘත කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි.

    නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා අප සමග පැවසුවේ මෙම වෙළඳ පොළේ ස්වර්ණාභරණ අලෙවිසැල් 84 ක් පමණ පිහිටුවීම සඳහා ඉඩ පහසුකම් තිබෙන බවයි.

    පිටකොටුව හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ අලෙවිසැල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාරය මෙම නව වෙළඳ පොළට රැගෙන එන්නැයි නාගරික සංවර්ධන අධිකාරිය ආරාධනා කර තිබේ.

    “ස්වර්ණාභරණ අලෙවිසැල් හිමියන් විසින් මෙම වෙළඳ පොළේ කඩකාමර වලින් සියයට 90 ක් විතරම මේ වනවිටත් අත්තිකාරම් ගෙවා වෙන්කරගෙන තිබෙනවා. කොළඹ හෙට්ටිවීදිය තුළ ස්වර්ණාභරණ වෙළඳාම කරන්නේ ඉතාමත් අනාරක්ෂිත විදිහටයි. ගැනුම් කරුවන්ට වාහන ගාල් කිරීමේ පහසුකම් පවා එහි නැහැ. මෙම නව වෙළඳ පොළ තුළට හොඳ ආරක්ෂාවක් සපයනවා. ඒ වගේම ගැනුම් කරුවන්ට වාහන ගාල් කිරීමේ පහසුකම්ද ඇති කරනවා.“

    යනුවෙන් නිමල් පෙරේරා මහතා සඳහන් කළේය.

    නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම නව ස්වර්ණාභරණ වෙළඳ පොළ තුළ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක්ද පිහිටුවන නිසා ගැනුම්කරුවන්ට තමන් මිලදී ගත් භාණ්ඩයේ තත්ත්වය පරික්ෂා කිරීමේ පහසුකම් පවා හිමිවන බවයි.

    ස්වර්ණාභරණ අලෙවිය සඳහාම වෙන්වූ ඩුබායි Gold Souk වෙළඳ පොළ තුළ ස්වර්ණාභරණ අලෙවිසැල් 300 කට වැඩි ප්‍රමාණයක් පිහිටා තිබේ.

    සේයාරුවෙන් දැක්වෙන්නේ ඩුබායි Gold Souk වෙළඳ පොළයි