ඩොලරයට මෙතෙක් ගෙවූ වැඩිම මිල අද වාර්තා වෙයි

    February, 21, 2017

    එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් සඳහා වන ශ්‍රී ලංකා විනිමය ප්‍රමාණයේ සීඝ්‍ර වැඩි වීමක් අද (21) දිනයේ දී වාර්තා වී තිබේ. එහිදී ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 153 සීමාව අද දිනයේ දී ඉක්මවා යන ලදී.

    මේ අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක් ගැනුම් මිල රු. 149.68 ක් ලෙසත් විකුණුම් මිල රු. 153.44 ක් ලෙසත් වාර්තා විය. මෙය ඊයේ (20) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක් සඳහා වාර්තා වූ ගැනුම් මිල වූ රු. 149.15 හා විකුණුම් මිල රු . 152.88 හා සැසඳීමේ දී පිළිවෙලින් සත 53 ක හා සත 56 ක ඉහළ යාමකි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාත සටහනේ මේ බව සඳහන් වේ.

    තවද විදෙස් මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් අද දෙරණ කළ විමසීමක දී වාර්තා වූයේ අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 152.10 ක් හා විකුණුම් මිල රු. 154.00 ක් බවයි.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටින්නේ 2017 ජනවාරි 01 සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 0.6 කින්, බ්‍රිතාන්‍ය පවුමට එරෙහිව සියයට 2.4 කින්, යූරෝට එරෙහිව සියයට 1.9 කින්, ජපන් යෙන්ට එරෙහිව සියයට 3.2 කින් සහ ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 1.9 කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බවයි.