ඩොලරයේ විකුණුම් මිල රු. 166 අභිබවයි. රුපියලකට වෙච්ච දෙයක්..

    September, 18, 2018

    ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරය හමුවේ පහළ යාම අද වන විට සාමාන්‍ය ප්‍රවෘත්තියක් බවට පත් ව ඇත. එකම සිද්ධිය දිගින් දිගටම එයාකාරයෙන්ම සිදුවන්නේ නම්, එය සාමාන්‍ය සිදුවීමක් වන්නේ යම් සේද, ශ්‍රී ලංකා රුපියලේ කඩා වැටීම ද අද වන විට දිනපතා වාර්තා වන සාමාන්‍ය සිදුවීමක් තරමට ම සාමාන්‍යකරණය වී ඇත.

    ඩොලරයේ විකුණුම් මිල පසුගිය සිකුරාදා (14) රුපියල් 164.00 සීමාව ඉක්මවා ගිය අතර ඊයේ (17) දිනයේ දී එය රුපියල් 165 සීමාව ද පසු කළේය. එසේම අද (18) ඩොලරයේ විකුණුම් මිල රුපියල් 166 ඉක්මවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

    මීට පෙර මෑත කාලයේ දී එයාකාරයෙන් සාමාන්‍යකරණය වූ සිදුවීමක් වූයේ ඉන්ධන මිල ඉහළ යාමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුහසින් වත්මන් රජය විසින් ක්‍රියාවට නංවන මිල සූත්‍රයට ස්තුති වන්නට සෑම මසකම 10 වෙනි දින මධ්‍යම රාත්‍රියේ පෙට්‍රල් හා ඩීසල් මිල රුපියලකින් හෝ දෙකකින් හෝ ඊට වඩා වැඩි ගණනකින් ඉහළ යන බව මහජනතාවට ප්‍රත්‍යක්ෂ වී ඇත. වෙනදා ඉන්ධන මිල ඉහළ යාමේ අනුමානය අනුව පිරවුම්හල්වල දිගු පෝළිම් හෝ ඛනිජ තෙල් සංස්ථාව විසින් පිරවුම්හල වෙත අවශ්‍ය තරම් තොග බෙදාහැරීමෙන් වැළකීම හෝ මේ වන විට නැවතී ඇත්තේ එකී සාමාන්‍යකරණයේ ආනුභාවයෙනි.

    මේ වන විට එක්සත් ජනපද ඩොලරයක් සඳහා ගෙවීමට නියම වූ ඉහළම රුපියල් අගය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (2018 සැප්තැම්බර් 17) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 163.1038 ක්වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 166.6411 ක් වශයෙනි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් සඳහා නියම වූ වැඩිම ගැනුම් හා විකුණුම් මිලයි.

    පසුගිය සතියේ ජපාන මූල්‍ය සමූහයක් වන නොමූරා හෝල්ඩිංග්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක් ශ්‍රී ලංකා ආර්ථිකයට මිණිය නොහැකි තරමේ හානියක් කළ බව නොරහසකි. එහිදී කියැවුණේ විනිමය අර්බුදයකට ලක්වීමේ අවදානමකට ලක්ව ඇති ලොව නැගී එන ආර්ථිකයන් 7 ක් පිළිබඳවයි. අවාසනාවට කරුණ නම්, එම රටවල් 7 අතර ශ්‍රී ලංකාවේ නම ද අන්තර්ගත වීමයි. එහි සඳහන් සෙසු රටවල් ලෙසින් දකුණු අප්‍රිකාව, ආර්ජන්ටිනාව, පාකිස්තානය, ඊජිප්තුව, තුර්කිය හා යුක්‍රේනය දක්වා තිබිණි.
    කෙසේ වෙතත් නොමූරා වාර්තාවට පදනම් වූ කරුණු සාවද්‍ය බවට ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව අවධාරණය කළ ද, එම වාර්තාවෙන් අනතුරුව ශ්‍රී ලංකා රුපියල කඩා වැටීම වෙනදාට වඩා වේගවත් වී ඇති බවට පෙනෙන්ට තිබේ.

    ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හමුවේ කෙටිකාලීනව ඇතිකරන ආර්ථික බලපෑම් කිහිපයකි. එනම්,

    • අපනයන ධෛර්යමත් වීම
    • ආනයන අධෛර්යමත් වීම
    • විදේශ ණය බර දේශීය මුදලින් ඉහළ යාම
    • උද්ධමනය ඉහළ යාම

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාව අපනයනය කරනු ලබන ඇඟළුම්, තේ ආදියට ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුම අපට තීරණය කළ හැකි කරුණක් නොවේ. වැඩි වටිනාකමක් ලැබුණු පමණින් අපනයන පරිමාව ඉහළ දැමීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැත.

    අනෙක් අතට ඉහළ විදේශ විනිමයක් ලැබෙන විදෙස් ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් ද පවතින්නේ අනම්‍ය මට්ටමකය.

    නමුත් මිල වැඩිවීම හේතුවෙන් ආනයනික ඉන්ධන වැනි භාණ්ඩ අධෛර්යයමත් කිරීමට හැකියාවක් නොමැත. ඒ ඒවා අනිවාර්යයෙන් මිල දී ගත යුතු තත්ත්වයට ශ්‍රී ලංකාව පත්ව ඇති බැවිනි. මේ අනුව ප්‍රධාන වශයෙන් ඉන්ධන ඇතුළු ආනයනික භාණ්ඩ වෙනුවෙන් දැරිය යුතු රුපියල් අගය ඉහළ යාම නොවැළැක්විය හැකි තත්ත්වයකි.

    අනෙක් අතට මෙම තත්ත්වය තුළ විදෙස් ආයෝජන අධෛර්යයමත් වීමක් ද අනිවාර්යයෙන් බලාපොරොත්තු විය යුතුය. මක් නිසාද යත් කොටස් වෙළෙඳපොළ වැනි ආයෝජන මාර්ගයයක ඩොලර්වලින් සිදුකරන ආයෝජනයක දී ලබන රුපියල් ප්‍රතිලාභය සඳහා විනිමය අවප්‍රමාණය වීමේ අලාභය ද ගැළපිය යුතු බැවිනි. එහිදී විදෙස් ආයෝජකයින් නිරන්තරයෙන් ඉහළ ප්‍රතිලාභයක් මෙන්ම අවම විනිමය ගැළපුම් අලාභයක් ඇති වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කරලීම නිරන්තරයෙන් දැකිය හැකි වනු ඇත.

    එක්සත් ජනපද ඩොලර් සඳහා වන රුපියල් අගය තීරණය වනුයේ සාමාන්‍ය ඉල්ලුම් හා සැපයුම් බලවේග අනුවය. සරලව ගතහොත් ඩොලර් සඳහා ඉල්ලුමක් ඇතිවනුයේ ඩොලර්වලින් ගෙවීම් කිරීමට සිදුවන අවස්ථාවල දීය. රටක් සතු ඩොලර් සංචිතය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී නම් එහිදී ඩොලර් හමුවේ එම රටෙහි මුදල් ඒකකය ශක්තිමත් වනු ඇත.

    ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් ඩොලර් ගලා එන ක්‍රම කිහිපයකි. අපනයන සඳහා ලැබීම්, විදේශ ආයෝජන, විදේශ ණය හා ප්‍රදාන, සංචාරක ඉපයීම් හා විදේශ සේවා නියුක්තියකයින්ගේ ප්‍රේෂණ ඒ අතර ප්‍රධාන වේ. එහෙත් මෙහිදී සිදුව ඇත්තේ ඩොලර් එන ප්‍රමාණයට වඩා රටෙන් ඉවතට ඇදී යන ඩොලර් ප්‍රමාණය ඉහළ අගයයක් ගැනීමෙනි. භාණ්ඩ හා සේවා මෙරටට ආනයනය කිරීම, විදේශ ණය ගෙවීම්, මෙරට ඇති විදේශ ආයෝජන ආපසු ඉවත් කර ගැනීම, විදේශයන් හි ආයෝජන සිදුකිරීම, විදේශයන්ගෙන් ලබා ගත් නිෂ්පාදන සාධක සඳහා ලාභ, පොළී හා වැටුප් වැනි ගෙවීම් සිදුකිරීමට සිදුවීම, විදේශයන් වෙත ආධාර හෝ ප්‍රේෂණ ලබාදීම යනාදී දෑ වෙනුවෙන් ගෙවීම් කිරීමට රටක් සතුව ඩොලර් තිබිය යුතුය.

    මෙම සංරචක දෙක අතර පවතින පරතරය අවම කිරීමට රටක් මූල්‍ය අධිකාරිය නිරන්තරයෙන් උත්සාහ ගනී. වෙළෙඳපොළ බලවේග අනුව විනිමය අනුපාත තීරණය වීමට ඉඩනොදී රජය/ මහ බැංකුව විසින් විනිමය අනුපාතය නියම කොට පාලනය කරන අවස්ථාවක අදාල අධිකාරීන් විසින් විනිමය අනුපාතය කලින් කලට වෙනස් කරනු ලැබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව 2018 මුල් මාස 06 තුළ දී අපනයන ආදායම ඩොලර් මිලියන 5,732 ක් වන අතර ආනයන වියදම ඩොලර් මිලියන 11,441 ක් ලෙසින් සටහන් වේ. මෙහිදී 2017 මුල් භාගයට සාපේක්ෂව 2018 මුල් මාස 06 තුළ දී අපනයන ආදායම 6.2% කින් ඉහළ ගොස් ඇතත් ආනයන වියදම ඊට වඩා වැඩි වේගයකින් එනම් 12.7% කින් වර්ධනය වී ඇත.

    සමස්තයක් වශයෙන් ගත් කල, දේශීය රුපියලට වඩා ඩොලර් වටිනාකම ඉහළ යාම කෙරෙහි සතුටු වන පාර්ශවයක් වේ නම් ඔවුන් අපනයනකරුවන්ය. ඒ තම අපනයන සඳහා ලැබෙන ඩොලර් විටිනාකම එකම වුවද එය දේශීය රුපියල්වලින් ඉහළ අගයයක් ගන්නා බැවිනි. කෙසේ වෙතත් 2018 මුල භාගයේ දී ශ්‍රී ලංකාව වැඩිවශයෙන් අපනයන ආදායමක් ලබන රෙදිපිළි හා ඇඟළුම් අපනයන ආදායම වර්ධනය වී ඇත්තේ 5.7% කිනි. එසේම කෘෂිකාර්මික අපනයන ආදායම 2.6% කින් පහළ ගොස් ඇත. මෙහිදී තේ අපනයන ආදායම 0.1% කින් වැඩි වී ඇති අතර රබර් අපනයන ආදායම 21.7% කින්, පොල් අපනයන ආදායම 13.6% කින් පහළ ගොස් ඇත. මේ අනුව ඩොලරයක වටිනාකම වැඩි වූවා යැයි කියා එහි වාසිය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී නැත්තේ ප්‍රමාණවත් පරිදි අපනයන ආදායම වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බැවිනි.

    ආනයන වියදම සලකා බැලූ කල, 2018 ප්‍රථම අර්ධයේ දී බොරතෙල් ආනයන වියදම 54.4% කින් ඉහළ ගොස් තිබීම කැපී පෙනේ. මෙම මාසයේ දී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 23% කින් ද, අන්තර් භාණ්ඩ ආනයන වියදම 18% කින්ද වැඩි වී තිබේ. තවද රථවාහන ආනයන වියදම 119.5% ක දැවැන්ත වැඩිවීමක් මෙම වකවානුවේ දී වාර්තා වේ. මේ අනුව වාර්තා වන්නේ ශ්‍රී ලංකාවට සිදුව ඇති විදේශ විනිමය ගෙවීම් ඉහළ ගොස් ඇති බවයි.

    මේ අතර පසුගිය සතියේ පැවති ශ්‍රී ලංකා ආර්ථික සමුළුව හා එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වූ එරාන් වික්‍රමරත්න පැවසුවේ රුපියල කඩා වැටීම වැළැක්වීමට මහ බැංකුව අවශ්‍ය අවස්ථාවේ දී මැදිහත් වනු ඇති බවයි. එසේම මීට පෙර පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද කියා සිටියේ අවශ්‍ය අවස්ථාවන් හිදී ඩොලරයේ මිල ඉහළ යාම පාලනය කිරීමට මහ බැංකුවට හැකියාව ඇති බවයි.

    කෙසේ වෙතත් අවස්ථා කිහිපයක දීම මහ බැංකුව මේ සඳහා මැදිහත් වුවද එය පාලනය කිරීමට නොහැකි මට්ටමක පවතින බව මේ වන විට ප්‍රත්‍යක්ෂ වී තිබේ. මේ අතර ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ දී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිතවරිය පැවසුවේ නම්‍යශීලී විනිමය අනුපාත ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැන ඔවුන් සතුටු වන බවයි.

    වසරේ මේ දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද  ඩොලරය හමුවේ 7.7% කින් අවප්‍රමාණය වී තිබේ.