ඩොලරය රු. 182 පසු කරයි

    November, 28, 2018

    ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 182 සීමාව ඉක්මවා යනු ලැබීය. එසේම ඩොලරයක ගැණුම් මිල ද මුල් වරට රුපියල් 178 සීමවා ද අද දින ඉක්මවා ගියේය.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 178.3257 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 182.2733 ක් ලෙසිනි.

    2018 වසර ආරම්භයේ දී ඩොලරයක විකුණුම් මිල පැවතියේ රුපියල් 155.2330 ක් ලෙසිනි. ඊට අනුව වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 17.4% කින් අවප්‍රමාණය වී තිබේ.

    එසේම මෙරට දේශපාලන බල පෙරළිය සිදු වූ පසුගිය ඔක්තෝබර් 26 දා සිට මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල 4.5% කින් අවප්‍රමාණය වී ඇත.