April, 27, 2018
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 10 මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ මේ වන විට එය ඩොලර් බිලියන 9.9 ක් බවයි.
“විනිමය අනුපාතිතය පාලනය කරනවාඩ වඩා මහ බැංකුවේ වැඩි අවධානය යොමු වුණේ සංචිත ගොඩනගන එකට. සංචිත මට්ටම ප්‍රමාණාත්මක අතින් මෙන්ම ගුණාත්මක අතින් ද පසුගිය කාලය තුළ දී වර්ධනය වී තිබෙනවා. 2017 වසරේ දී ගෙවුම් තුලනයේ අතිරික්තයක් වාර්තා වුණා. සංචිත ගොඩනැගීම හා ගෙවුම් තුලනයේ අතිරික්තය සමඟින් මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාමට හැකිවුණා.“
“බිලියන 6 ක සංචිත කාලයේ දී බොහෝමයත් තිබුණේ වාණිජ බැංකුවල swap වගේ ඒවා. ඒක අඩුවෙලා දීර්ඝ කාලීනව තිබෙන සංචිතවල අනුපාතය දිගටම වැඩිවෙමින් පවතනවා. මේ වන විට ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයට අපේ සංචිත පැමිණ තිබෙනවා. ඩොලර් බිලියන 9.98 ක්. ප්‍රමාණයෙන් වැඩිවුණා වගේම එහි කෙටිකාලීන තිබෙන වගකීම් ප්‍රමාණය විශාල වශයෙන් අඩුවෙලා තිබෙනවා. එතන දී සංචිතවල ශක්තිමත්භාවය වැඩිවෙලා තිබෙනවා“, යැයි බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Video Story