ඩොලර් මිලියන 9.28ක ආයෝජනයකින් යූනියන් පෙදෙසට කාමර 112ක හෝටලයක්

    October, 25, 2019

    ඇමරිකානු ඩොලර් මිලියන 9.28 ක ආයෝජන වටිනාකමකින් යුත් කාමර 112 කින් යුත් හෝටලයක් ඉදිකිරීමට හා ක්‍රියාත්මක කිරීමට සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් (පුද්) සමාගම හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුවිය. මේ හරහා නව රැකියා අවස්ථා 60 ක් නිර්මාණය වන බව සමාගම කියා සිටී.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල යාපා සහ සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් (පුද්) සමාගමේ විධායක අධ්‍යක්ෂ රෝහන වන්නිගම යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් කළහ.

    “කාමර 112 ක තරු 1 කාණ්ඩයේ ව්‍යාපාරික හෝටලයක් අපි ඉදිකරනු ලබන එය ඉතා උසස් තත්ත්වයේ එකක් වෙනවා. මෙය මහල් 10 කින් යුතු ගොඩනැගිල්ලක්. මෙම ව්‍යාපෘතිය සමඟ කටයුතු කිරීමට අප ජාත්‍යන්තර හෝටල් මෙහෙයුම්කරුවෙකු බලාපොරොත්තු වෙනවා“, යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් (පුද්) සමාගමේ විධායක අධ්‍යක්ෂ රෝහන වන්නිගම පැවසීය.

    “අපි ඉදිකරන හෝටලය ව්‍යාපාරික සංචාරකයින් ඉලක්ක කර ගෙන ක්‍රියාත්මක වන අතර එය අමුත්තන් හට සුවපහසු හා උසස් තත්ත්වයේ හෝටල් කාමරයක් ලබා දෙනු ඇත. තවත් වැදගත් කරුණක් නම් අපගේ හෝටලය යුනියන් පෙදෙසේ පිහිටා තිබීමයි. එය කොළඹ කාර්යබහුල හා සිදුවෙමින් පවතින වීථියක් බවට පත්වෙමින් තිබෙනවා. එය අනාගතයේදී සිංගප්පූරුවේ ඕකිඩ් වීදිය වැනි විය හැකියි”, යනුවෙන් වන්නිගම මහතා වැඩිදුරටත් කියා සිටියේය.