ඩොලර් 15,000 ක් දිනූ වයිබර් පණිවුඩය ඔබටත් ලැබුණා ද?

    August, 18, 2016

    ඊයේ (17) දිනයේ දී මෙරට බොහෝ වයිබර් ග්‍රාහකයින් හට ඔවුන් 'Win viber 2016' නම් තරගයකින් දිනා ඇති බවට වයිබර් පණිවුඩ ලැබී තිබුණි. ජාත්‍යන්තර දුරකතන අංකයකින් එවා ඇති මෙම පණිවුඩයෙන් වැඩිදුරටත් කියැවුණේ මෙරට ප්‍රමුඛ පෙළේ දුරකතන සන්නිවේදන සේවා සමාගමක ප්‍රධානියෙකු විසින් එම පණිවුඩය එවූ බවයි.

    ඊට අනුව ඇමරිකානු ඩොලර් 15,000 ක ත්‍යාග මුදලක් දිනා ඇති බවත්, ඒ සඳහා පණිවුඩයේ දක්වා ඇති දුරකතන අංකයක් අමතන ලෙසත් වැඩිදුරටත් සඳහන් කර තිබුණි. අදාළ ත්‍යාගය ලබා ගැනීම සඳහා පණිවුඩයේ දක්වා ඇති ජාත්‍යන්තර දුරකතන අංකවලින් එකකට ඇමතුමක් ගන්නා ලෙස එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

    මෙහි පහත දැක්වෙන්නේ එලෙස වයිබර් ග්‍රාහකයින් වෙත ලැබුණු පණිවුඩයයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාළ දුරකතන සේවා සමාගම සිය ග්‍රාහකයින් වෙත කෙටි පණිවුඩයකින් දන්වා ඇත්තේ අදාළ වයිබර් පණිවුඩය හඳුනා නොගත් පාර්ශවයක් විසින් සිදුකරන ලද වංචනික ක්‍රියාවක් බවයි. එම කෙටි පණිවුඩය පහත දැක්වේ.

    නිරන්තරයෙන් මෙවැනි පණිවුඩ ජංගම දුරකතන ග්‍රාහකයින් වෙත ලැබෙන අතර මේ සම්බන්ධයෙන් ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය සඳහන් කර සිටින්නේ සංවිධානාත්මක පිරිස් විසින් මෙවැනි වංචනික ක්‍රියාවන් සිදුකරනු ලබන බවයි.

    යම් හෙයිකින් අදාළ පණිවුඩයේ දක්වා ඇති දුරකතන අංකයකට ඇමතුමක් ගතහොත් ඒ සඳහා විශාල ඇමතුම් ගාස්තුවක් ගෙවීමට සිදුවන බව එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වේ. එහිදී අයකරනු ලබන ඇමතුම් ගාස්තුවෙන් විශාල පංගුවක් මෙම සංවිධානාත්මක පිරිස් වෙත ලැබෙන බව සඳහන් කරන ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වැඩිදුරටත් කියා සිටින්නේ, සාමාන්‍ය ඇමතුම් ගාස්තුව මෙන් සියගුණයක පමණ ගාස්තුවක් එම ඇමතුමක් වෙනුවෙන් ගෙවිය යුතු වනු ඇති බවයි.

    Video Story

    Stock Market

    Exchange Rates