ණය පොලී අඩු නොකළ බැංකු 8කට මහ බැංකුවෙන් ක්‍රියාමාර්ග

    January, 1, 2020

    “මෑතකාලීන ප්‍රතිපත්ති තීරණ, රුපියල් ණය සඳහා අදාළ වෙළඳපොළ ණය පොලී අනුපාතික වෙත කාර්යක්ෂමව සම්ප්‍රේෂණය වීම ඉහළ නැංවීම” යන 2019 අංක 02 දරන මුදල් නීති පනතේ නියෝගය අනුව සතිපතා ආර්ථික දර්ශක (Weekly Economic Indicators) ප්‍රකාශනයෙහි 2019 අප්‍රේල් මස 26 වෙනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවල සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතික (AWPR) හා සැසඳීමේදී 2019 දෙසැම්බර් මස 27 වන දින වන විට සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතික අවම වශයෙන් පදනම් අංක 250 කින් පහළ දැමිය යුතුවේ. මෙම නියෝගය නිකුත් කළ දින හෝ ඉන් අනතුරුව සිය බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය වාර්ෂිකව සියයට 9.50 දක්වා හෝ ඊට වඩා අඩු කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා මෙම නියෝගය අදාළ නොවේ.

    බලපත්‍රලාභී වාණිජ බැංකු රැසක් ඉහත නියෝගයට අනුකූලව කටයුතු කර ඇති අතර, ඇතැම් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නියාමන අවශ්‍යතාව සපුරාලීම සඳහා ඔවුන්ගේ බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය විශේෂයෙන් 2019 දෙසැම්බර් 20 දිනෙන් අවසන් වූ පෙර සතියේ සිට 2019 දෙසැම්බර් 27 දිනෙන් අවසන් වූ සතිය තුළදී විශාල ලෙස අඩු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය සමස්තයක් ලෙස 2019 අප්‍රේල් 26 පැවති සියයට 12.24 සිට 2019 දෙසැම්බර් 27 දින වන විට සියයට 9.94 ක් දක්වා පදනම් අංක 230 කින් අඩු විය. මෙය 2016 අප්‍රේල් 29 දිනෙන් පසු බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය තනි අගයක මට්ටම දක්වා පහළ ගිය ප්‍රථම අවස්ථාව වේ.

    අදාළ මුදල් නීති පනතේ නියෝගයට අනුව, කිසිදු බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සිය බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය දැනට අඩු කළ මට්ටමට වඩා ඉහළ නොදැමිය යුතු අතර, නියමිත ණය ප්‍රතිමිල කිරීමේ දී අදාළ වෙළෙඳපොළ ණය පොලී අනුපාතික, විශේෂයෙන්ම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය හා සම්බන්ධිත ණය පොලී අනුපාතික ඉදිරි කාලයේ දී අඛණ්ඩව අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    කෙසේ වෙතත්, මහජන බැංකුව, කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී, ඉන්දියන් ඕවර්සීස් බෑන්ක්, එම්.සී.බී බෑන්ක් ලිමිටඩ්, පබ්ලික් බෑන්ක් බර්හාඩ්, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බෑන්ක්, අමානා බෑන්ක් පීඑල්සී සහ ඇක්සිස් බෑන්ක් ලිමිටඩ් යන බැංකු 2019 අංක 02 දරන මුදල් නීති පනතේ නියෝගය සමඟ අනුකූල වීමට අපොහොසත් වී ඇති බව නිරීක්ෂණය කරන ලදී. මූල්‍ය පද්ධතිය හරහා මෑතකාලීන ප්‍රතිපත්ති තීරණ කාර්යක්ෂමව සම්ප්‍රේෂණය වීමෙන් පොදු මහජනතාවට අඛණ්ඩ ප්‍රතිලාභ හිමි කර දීම තහවුරු කිරීම සඳහා මෙම බැංකු සම්බන්ධයෙන් මෙන්ම අදාළ මුදල් නීති පනතේ නියෝගයේ සඳහන් අනෙකුත් විධාන සපුරා නොමැති බලපත්‍රලාභී බැංකු සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරයි.