ණය සහන පැකේජයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු වෙත දැනුම් දීමට තිබූ කාලය පෙබරවාරි 10 දක්වා දීර්ඝ කෙරේ

    January, 30, 2020

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා හඳුන්වා දී ඇති ණය සහන පැකේජයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සිය බැංකු වෙත දැනුම් දීමට තිබූ කාලය 2020 පෙබරවාරි 10 දින දක්වා දීර්ඝ කරනු ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (30) දින පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා මේ බව දැනුම් දුන්නේය.

    “බැංකු පද්ධතියේ සම්පූර්ණ ණයදීම් ප්‍රමාණය රු. ට්‍රිලියන 8 ක් පමණ වෙනවා. මෙයින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ යොමුව උපරිම වශයෙන් සියයට 10-12 ත් අතර ප්‍රමාණයක්. අපගේ අතීත අත්දැකීම් අනුව මෙයින් 1/3 ක් පමණයි ඉල්ලීම් කරනු ඇත්තේ. එම නිසා මෙම අංශයේ විශාල යොමුවක් අපි දකින්නේ නැහැ.“

    මෙම ණය සහන පැකේජයට අනුව අක්‍රිය මට්ටමේ පවතින ණය වෙනුවෙන් බැංකු විසින් නීතිමය පියවර ගැනීම වහාම අත්හිටුවා ඇති අතර ඔවුන් වෙත පනවා තිබූ දඩ පොලිය ද  අහෝසි කර තිබේ.   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ණය සහන පැකේජය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු වාණිජ බැංකු වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇත. මෙම ණය සහන පැකේජයට ඇතුළත් වීම සඳහා රුපියල් මිලියන 300 දක්වා ණය ලබා ගෙන ඇති සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සුදුසුකම් ලබන අතර රජය විසින් දැනුම් දී ඇති පරිදි අදාළ ණය ලබා ගත් ව්‍යවසායකයන් 2020 පෙබරවාරි 10 දිනට පෙර මෙම සහන පැකේජයට හිමිකම් ලබා ගැනීම සඳහා තමන් ණය මුදල ලබා ගත් අදාළ බැංකු ශාඛාව වෙත ලිඛිතව දැනුම් දීම අනිවාර්ය වේ.