තනි පුද්ගල ණය ලක්ෂ 5 ට ආසන්නයි

    October, 30, 2017

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය 2017 දෙවන කාර්තුව අවසානයේ දී රුපියල් බිලියන 10,163.9 ක් ලෙසින් වාර්තා වී තිබේ. එය සමස්ත දේශීය ණය රුපියල් බිලියන 5,666.5 කින් සහ රුපියල් බිලියන 4,497.4 ක්වූ විදේශීය ණයවලින් සමන්විත වේ.

    2016 වසර අවසානයේ දී රජයේ මුළු ණය රුපියල් බිලියන 9,387.3 ක් ලෙසින් වාර්තා වූ අතර 2017 මුල් මාස 06 තුළ දී පමණක් මෙම ණය ප්‍රමාණය රුපියල් බිලියන 776.6 කින් හෙවත් 8.27% කින් වර්ධනය වී තිබේ.

    මේ අතර http://www.worldometers.info වෙබ් අඩවියේ සජීවී දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ වත්මන් ජනගහනය 20,901,152 ක් ලෙසින් වාර්තා වේ.

    ඒ අනුව රටේ සමස්ත ණය හා ජනගහනය අතර අනුපාතය සලකා බලන කළ එක් පුද්ගලයෙකු ගේ ණය බර රුපියල් 486,284.20 ක් ලෙසින් ඇස්තමේන්තු කළ හැකි වනු ඇත.