තම දැනුම ජාතිය වෙනුවෙන් කැපකරන්නැයි ජනපති ඉංජිනේරුවන්ගෙන් ඉල්ලයි

    October, 17, 2018

    සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේ දී මුහුණදීමට සිදුව ඇති අභියෝග ජය ගැනීමට තම දැනුම සහ අත්දැකීම් ජාතිය වෙනුවෙන් කැපකරන්නැයි ජනාධිපතිවරයා සමස්ත ඉංජිනේරුවන්ගෙන් ඉල්ලයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම ඉල්ලීම සිදු කළේ අද (17) පෙරවරුවේ කොළඹ දී පැවති ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සම්මේලනය අමතමිනි.

    “තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ සැලසුම් සහ අභියෝග” මැයෙන් ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, දකුණු සහ මධ්‍යම ආසියානු ඉංජිනේරු ෆෙඩරේෂණය සමග එක්ව මෙම වාර්ෂික සම්මේලනය සංවිධානය කර තිබිණි.

    ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල නියෝජිතයන් ද මෙම සමුළුවට එක්ව සිටින අතර දකුණු සහ මධ්‍යම ආසියා කලාපයේ අසල්වැසි රටවල් අතර ඵලදායී කි‍්‍රයාකාරි යාන්ත‍්‍රණයක් සැකසීම සඳහා වෘත්තිය සහයෝගිතාව වැඩි දියුණු කිරීම, ගැටලු සාකච්ඡා කිරීම සහ ඉංජිනේරු අධ්‍යාපනය හා පුහුණු ක්ෂේත‍්‍රයේ නියැළි සිටින රාජ්‍ය නොවන සංවිධාන සඳහා අවස්ථා සැපයීම මෙම සම්මේලනය මගින් අපේක්ෂා කරයි.

    මෙහි සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අපේ රටේ සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක සුපරා ගැනීමේ දී කාලගුණික දේශගුණික විපර්යාස, දුගී භාවය, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනැගීමේ දී මතුව ඇති අභියෝග සහ දූෂණය, වංචාව සහ හොරකම බරපතළ අභියෝග බවට පත්ව ඇති බවයි.

    රට හමුවේ ඇති මෙම අභියෝග ජය ගනිමින් ජාතියක් ලෙස නැගී සිටිමට වාද බේද අමතක කර සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බව ද මෙහිදී පැවසු ජනාධිපතිවරයා එය හෙට උපදින මතු පරපුර වෙනුවෙන් ඉටුකරන යුතුකමක් බව ද කියා සිටියේ ය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රත්නපුර, කළුතර ප‍්‍රදේශවල ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගංවතුර තර්ජනය වළක්වාලමින්, නිකරුනේ ගලා යන ඒ මහා ජලකඳ නළ මගින් උතුරට ගෙනයෑම පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කිරීමට වාර්මාර්ග ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බවයි.

    ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපතිනි මහචාර්ය නිරංජනී රත්නායක මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූවා ය.

    නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපති ඉංජිනේරු ජයවිලාල් මීගොඩ, මහාචාර්ය මොහොන් මුණසිංහ යන මහත්වරුන් ඇතුළු විද්වත් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.