තහනම වලක්වා නොගත්තොත් මත්ස්‍ය අපනයන වලින් අඩක් අනතුරේ

    October, 15, 2014

    යුරෝපීය කොමිසම පවසා තිබෙන ආකාරයට ලබන ජනවාරි මාසයේ සිට ලංකාවෙන් යුරෝපීය සංගමය මිලදීගන්නා මත්ස්‍යය නිෂ්පාදන නවතා දැමුවහොත් එයින් මෙරට ආර්ථිකයට මරු පහරක් එල්ල වනු ඇත.

    මේ නිසා, ඉතාමත් සාර්ථක ලෙස යුරෝපීය සංගමයට මෙරට සමාගම් විසින් සිදුකරමින් තිබෙන මත්ස්‍ය අපනයන කර්මාන්තය කඩා වැටීමට හැකි අතර ඒ තුළින් මෙරටට ලැබෙන විදේශ විනිමය අහිමිවීමත් මෙරට බොහෝ ධීවර ජනතාවගේ ආදායම් අනතුරට ලක්වීමත් සිදුවනු ඇතැයි උපකල්පනය හැකිය.

    ලෝකයේ වටිනාම මත්ස්‍ය වෙළඳ පොළ ලෙස සැලකෙන්නේ යුරෝපීය සංගමයයි. මෙවැනි දැවැන්ත වෙළඳ පොළක් වෙත දෙවැනියට විශාලතම මත්ස්‍ය අපනයන කරුවා වීමෙන් ශ්‍රී ලංකාවට මෙම වෙළඳ පොළ කෙතරම් වැදගත්දැයි පැහැදිලි වේ.

    ගිය වසරේදී යුරෝපීය සංගමය ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මෙට්‍රික් ටොන් 7,400 ක් මිලදීගෙන තිබෙන අතර එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 12 කට ආසන්න වේ. මෙම ආදායම වසරකට ලංකාව මත්ස්‍ය නිෂ්පාදන අපනයනයෙන් උපයා ගන්නා සමස්ත ආදායමෙන් අඩකට ආසන්න වේ.

    මේ අනුව, මෙම වෙළඳ පොළේ දොරටු වැසෙන්නේ නම් මෙරට මත්ස්‍ය නිෂ්පාදන අපනයන වලින් අඩක් පමණම කඩා වැටෙන්නේ යැයි උපකල්පනය කළ හැකිය.

    මෙම කරුණු ගෙනහැර දක්වන්නේ මෙම ගැටලුවේ බැරෑරුම් බව අවබෝධ කර දීමට මිස එවැනි කඩා වැටීමක් අපේක්ෂාවෙන් නොවේ.

    මේ නිසා, මෙරට ධීවර කර්මාන්තය පිළිබඳව වගකිව යුත්තන් දැන්වත් කළ යුත්තේ යුරෝපීය කොමිසම විසින් අනුගමනය කරන්නැයි දැනුම් දී ඇති ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට වහා පියවර ගැනීමයි.

    ශ්‍රී ලංකාවේ ධජය සහිතව අඩුම ගණනේ චීන ධීවර යාත්‍රා 09 ක් පමණ ඉන්දියන් සාගරයේ ධීවර කටයුතුවල මේ වනවිට නිරත වේ. ධීවරයින් චෝදනා කරන්නේ මෙම යාත්‍රා අපගේ මුහුදු කළාපයෙන් පැන ධීවර කටයුතුවල නිරත වීමද ලංකාවේ නම කැළැල් වීමට හේතුවී තිබෙන බවයි.

    මේ අතර, යුරෝපීය කොමිසමේ නාවික සහ ධීවර කටයුතු පිළිබඳ කොමසාරිස් Maria Damanaki මහත්මිය පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බළධාරීන් සමග වැඩ කටයුතු කිරීමට උත්සාහ කළද ඔවුන් ඒ සඳහා එතරම් සහයෝගයක් නොදැක්වූ බවයි.

    යාත්‍රා කරන ස්ථාන පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට හැකි GPS ක්‍රමයක් නොමැති දැවැන්ත ධීවර යාත්‍රා සඳහා ඉන්දියන් සාගරයේ මසුන් ඇල්ලීමට ලංකාව විසින් අවසර ලබාදී ඇති බවත් ඒවා පාලනය කිරීම අපහසු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

    බොහෝවිට මේ ගණයට වැටෙන්නේ පසුගියදා ධීවර අමාත්‍යංශය විසින් මසුන් ඇල්ලීම සඳහා අවසර ලබාදුන් චීන ධීවර යාත්‍රා විය හැකිය.
    ශ්‍රී ලංකාව විසින් සිදුකරන නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව යුරෝපීය සංගමය විසින් 2012 වසරේ සිට අනතුරු හැඟවූ අතර එය නිවැරදි කර ගන්නා ලෙසත් ධීවර යාත්‍රා ගමන් කරන ස්ථාන පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කරන ලෙසත් ලංකාවෙන් ඉල්ලා තිබුණි.
    මේ නිසා, මෙවැනි තහනමක් වලක්වා ගැනීම සඳහා ලංකාවට ඇති තරම් කාල වේලාවක් තිබුණු බව පැහැදිලිය.
    අප වෙත අනාවරණය වන ආකාරයට ඉතාමත් ඉක්මනින් යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ආරම්භ කිරීමට මුල පුරමින් ධීවර අමාත්‍යංශය විසින් යුරෝපීය සංගමය විසින් ඉල්ලා ඇති ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කඩිමුඩියේ සූදානම් වෙමින් සිටී.

    මේ නිසා, මත්ස්‍ය අපනයන කරුවන් විශ්වාසය තබා තිබෙන්නේ ලබන ජනවාරි මාසයේ සිට පනවා තිබෙන මෙම තහනම වලක්වා ගැනීමට අමාත්‍යංශය සමත් වනු ඇති බවයි.