තායි ඇතුළු රටවල් රැසක සංචාරකයින්ට මාස 06 ක නිදහස් වීසා

    February, 27, 2019

    වසරේ අනෙකුත් කාලයන්ට සාපේක්ෂව අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා කාල පරාසය තුළ සංචාරකයිව්ගේ පැමිණීම අඩු අගයක් ගන්නා බව නිරීක්ෂණය වී ඇත.

    එසේ වුවද මැයි සිට අගෝස්තු දක්වා වන කාල සීමාව තුළ වෙසක් හා පොසොන් උත්සව සහ ඇසළ පෙරහැර වැනි බෞද්ධාගමික උත්සව සහ සංස්කෘතිකාංග රාශියක් දිවයින පුරා පැවැත්වෙන බැවින් බුදු දහම ප්‍රචලිතව ඇති තායිලන්තය වැනි ආසියානු රටවල බෞද්ධ සංචාරකයින් ආකර්ෂණය කරගත හැකි වෙතැයි අපේක්ෂා කරන බව රජය පවසයි.

    මෙම තත්ත්වය සලකා බලා එම කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය කරගැනීම සඳහා 2019 අප්‍රේල් 01 දින සිට මාස 06 ක කාලපරිච්ඡේදයක් සඳහා තායිලන්ත සංචාරකයින්ට නිදහස් වීසා පහසුකම් ලබා දීමට යෝජනා වී තිබේ.

    ඒ අනුව තායිලන්ත සංචාරකයින්ට මෙන්ම යුරෝපා සංගමයට අයත් රටවල්, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව, නවසීලන්තය යන රටවල සංචාරකයින් සඳහා ද මෙම පහසුකම ලබා දීමට සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.