තෙල් ගවේෂණය යළි අරඹන්න රජය තීරණය කරයි

    September, 10, 2020

    ශ්‍රී ලංකාවට අයත් කලාපය තුළ තෙල් සහ ගෑස් ගවේෂණය කිරීම යළි ආරම්භ කිරීම සඳහා රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (10) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව අනාවරණය කළේය.

    “වසර ගණනාවක් පුරාවට අත්හැර දමා තිබුණු තෙල් සහ ගෑස් ගවේෂණය යළි ආරම්භ කරන්න ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙනවා. ඒ අනුව ආයෝජකයින් ආකර්ෂණය ගැනීමට අත්‍යාවශ්‍ය කාරණයක් වූ ස්වභාවික වායු පිළිබඳ ප්‍රතිපත්තියක් සම්පාදනය කර තිබෙනවා. මේ සතියේ අමාත්‍ය මණ්ඩලයේ දී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් සුරත් ඕවිටිගම මහතාත්, උපදේශකවරයෙක් වශයෙන් මෙම ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීනව ඇත්දැකීම් තිබෙන, ලෝකය පුරා පිළිගැනීමට ලක්ව ඇති චරිතයක් වන සාලිය වික්‍රමසූරිය මහතාත් පත්කරන්න අමාත්‍ය මණ්ඩලය තීරණය කළා“, යනුවෙන් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා  වැඩිදුරටත් කියා සිටියේය.

    පසුගිය රජය සමයේ 2016 වසරේ දී මෙරට නැඟෙනහිර ගැඹුරු මුහුදු තීරයේ තෙල් ගවේෂණ කටයුතු කිරීම වෙනුවෙන් වූ ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමක් සඳහා ලොව ප්‍රමුඛ පෙ‍ළේ තෙල් හා ගෑස් සමාගමක් වන ප්‍රංශයේ Total සමඟ ගිවිසුම් අත්සන් කෙරුණු අතර මෙරට මුහුදු තීරයේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු සඳහා සිංගපූරු සමාගමක් වන Bona Vista Energy සමාගමට ගවේෂණ තීරයෙන් කොටසක් පැවරීමට ද තීරණය කර තිබුණි.

    මීට පෙර Cairn Energy සමාගම වයඹ දිග මුහුදු තීරයේ තෙල් ගවේෂණ කටයුතු සිදුකළ නමුත් එහි ප්‍රගතියක් දක්නට ලැබුණේ නැත.