තෙල් සංස්ථාව ඉන්දියානු වෙළෙඳ පොළට ඇතුළු වෙන්නේ මෙහෙමයි

    May, 2, 2017

    ඉදිරියේ දී ඉන්දියාව විසින් මෙරට සිදුකිරීමට නියමිත ආයෝජන සම්බන්ධයෙන් ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියේ දී සිදු කරනු ලැබීය. එහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පළමු වරට ඉන්දීය වෙළෙඳපොළට ප්‍රවේශ වීමට අවස්ථාව විවර ඇති බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

    ඉන්දීය ආයෝජන තුළින් වෙළෙඳ කලාප ඇති කිරීම, ඛනිජ තෙල් කර්මාන්තය හා සංචාරක කර්මාන්තය දියුණු කිරීම පිළිබඳ ආදී කරුණු රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළ අතර පහත දැක්වෙන්නේ අග්‍රමාත්‍යවරයා එහිදී කළ කතාවෙන් උපුටා ගැනුමකි.

    “ඉන්දියාව අපත් එක්ක එකට එකතු වෙලා ත්‍රිකුණාමලය වරාය දියුණු කරන්නත් ඒවායේ ආයෝජනය කරන්නත් උදව් කරනා බව ප්‍රකාශ කලා. ඔවුන් ඒ ආයෝජකයන්ට කියනවා ත්‍රිකුණාමලයට එන්න කියලා. අපි සිංගප්පූරුව සමග ත්‍රිකුණාමලය දියුණු කිරීමේ සැලැස්ම සකස් කරමින් සිටිනවා. කර්මාන්ත ඇති කරන්න, සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න වගේම කෘෂි කර්මාන්තය දියුනු කරන්න කටයුතු කරනවා. “

    “ඒ වගේම ඉන්දියාවට අවශ්‍ය වන ඉන්ධන ගබඩා කරන්න පහසුකම් අප ත්‍රිකුණාමලයෙන් ලබා දෙනවා. ඊළග අවුරුදු පනහේදි ඉන්දියාව දියුණු වෙන්න දියුණු වෙන්න ඔවුන්ට විශාල වශයෙන් ඛනිජ තෙල් ඉල්ලූමක් ඇති වෙනවා. ඒ තෙල් ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් ඔවුන්ට නැහැ. ලංකාවේ ගබඩා කරලා ඉන්දියාවට දුන්නාම අපට ගබඩා ගාස්තු හම්බවෙනවා වගේම ඒ වෙනුවෙන් මුල්‍ය ලාබයක්ද අපට හිමි වෙනවා.“

    “මෙය තෙල් සංස්ථාව හා ඉන්දියානු සමාගමයි එකට එකතු වෙලා කරන වැඩක්. පළමු වතාවට තෙල් සංස්ථාවට ඉන්දියානු වෙළෙද පොලට ඇතුළු විමේ මාර්ගයක් මෙමගින් අපි ඇති කරනවා. අප හදන්නේ රාජපක්‍ෂලා මෙන් තෙල් සංස්ථාව නැති කරන්න නෙවෙයි. දියණු කරන්නයි. වැඩි ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්නයි. ඉතින් මේකට විරුද්ධ වෙන්නේ කව්ද...? අපි බලන්නේ තෙල් ටැංකි වලින් ප්‍රයෝජනයක් අරගෙන ත්‍රිකුණාමලයේ දියුණුව මගින් එහි වෙසෙන තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන්නයි.“

    “ඒත් සමඟම සාම්පූර්වල තාප විදුලි බලාගාරයක් ඉදි කර, බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරන්න අපේක්ෂා කරනවා. උතුරේත් ඒ වගේම උඩරටත් නිවාස ඉදි කරන්න ආධාර කරන්න එකඟ වෙලා තියෙනවා. ත්‍රිකුණාමලය වෙළෙද කලාපයක් ආරම්භ කරන්නත් දකුණේ තව වෙළෙද කලාපයක් ආරම්භ කරන්නත් ඉන්දියන් ආයෝජකයන් හොයලා දෙනවා කියලා අපිට ඉන්දියන් ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා. ඉන්දියානු සංචාරකයන් ලංකාවට එවලා ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නත් ඉන්දියාවේ අයෝජකයන් ලංකාවේ හෝටල් ඉදිකරලා එන සංචාරකයන් අවශ්‍ය පහසුකම් සපයන්නත් එකඟ වෙලා තියෙනවා.“