තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ගුවන්තොටුපල සහ වරාය ස්වාධීන කොමිසමක් මගින් පාලනය විය යුතුද?

    June, 22, 2015

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංවිම, ගුවන් තොටුපල සහ වරාය ස්වාධීන කොමිසමක් මගින් පාලනය වියයුතු බවත්, රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගෙන යෑමට නම් උපාය මාර්ගික වශයෙන් නිසි විධිමත් කළමනාකාරීත්වයක් අවශ්‍ය බවත් විදුලි බලහා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    ඒ තා මෙම අදහස් ප්‍රකාශකළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පදනම් ආයතනයේදී පැවැති ප්‍රශස්ත ජාතික ප්‍රතිපත්ති සැකසීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවේ රටතුළ ඉහළ ආයතන වන ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි බලමණ්ඩලය, ගුවන් තොටුපල, වරාය වැනි ආයතන ස්වාධීන කොමිසමකින් පාලනය විය යුතු වුවත් ඒ යෝජනාව සඳහා මෙතෙක් සහයෝගය ලැබී නොමැති බවයි. රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගෙන යෑමට උපාය මාර්ගික වශයෙන් නිසි විධිමත් කළමනාකාරීත්වයක් අවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.

    මෙහිදී, අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ පැවසීය. “ලංකා විදුලිබල මණ්ඩලය තව වසර දහයක් ඇතුළත තාක්ෂණික වශයෙන් අහෝසිවිය හැකියි. 2002 වර්ෂයේදී ලංකා විදුලි බල මණ්ඩලය දේශපාලනය විසින් කොටස් හයකට බෙදා දැක්වීමට උත්සහ කළා. ඒ දේශපාලනික වශයෙන් තාක්ෂණික වශයෙන් මේ වනවිට විශාල ප්‍රශ්නයක් ඇතිව තිබෙනවා. ප්‍රධාන විදුලි පාරිභෝගිකයෝ ජාලයෙන් ඉවත් වෙලා එය 2010 දී හඳුනා ගැනීමට හැකි වූ තත්ත්වයක්. සමහර රටවල මේ වනවිටත් ප්‍රධාන විදුලි බල පද්ධතිය අහෝසි වන තත්ත්වයට පත්වෙලා.“