තෙවන කාර්තුවේ දී ආර්ථික වර්ධනය 2.9% ක් දක්වා පසුබසී

    December, 19, 2018

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවන් අනුව 2018 තෙවන කාර්තුවේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 2.9% ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබේ. 2018 තෙවන කාර්තුවේ දී ආර්ථික වර්ධන වේගය 3.7% ක්වූ අතර 2017 තෙවන කාර්තුවේ  දී මෙම අගය 3.2% ක් ලෙසින් වාර්තා විය.

    මෙම වසරේ තෙවන කාර්තුව සඳහා ස්ථාවර මිල (2010) ගණන් යටතේ ඇස්තමේන්තු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,431,627 කි. තව ද පසුගිය වසරේ තෙවන කාර්තුවේ දී මෙම අගය රුපියල් මිලියන 2,362,698 ක් විය.

    ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකළ බදු 2018 වර්ෂයේ තෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය පිළිවෙලින් සියයට 7.5 ක්, සියයට 27.4 ක්, සියයට 56.8 ක් සහ සියයට 8.3 ක් ලෙස වාර්තා වේ.