තේ තැරැව්කරුවන්ගේ හුවමාරුවෙන් කොටස් පිරිවැටුම ඉහළට

    January, 8, 2018

    අද (08) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී රුපියල් බිලියන 1.736 ක දෛනික පිරිවැටුමක් වාර්තා විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු 8 ක කොටස් ගනුදෙනු දායක වී තිබේ.

    මේ අතර ඒකක 25.78 ක වර්ධනයක් සටහන් කරමින් දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,540.51 ක් ලෙසින් සටහන් විය.

    දිනය තුළ සිදු වූ ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවලින් වාර්තා වූ පිරිවැටුම් පිළිවෙලින් මෙල්ස්ටාකෝප් රු. මිලියන 122 ක්, පීපල්ස් ලීසිං රු. මිලියන 64.69 ක්, HNB (ඡන්ද බලය රහිත) රු. මිලියන 35.53 ක්, HNB (ඡන්ද බලය සහිත) රු. මිලියන 38.22 ක්, සම්පත් බැංකුව රු. මිලියන 115.5 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 693 ක්, ACL කේබල්ස් රු. මිලියන 32.29 ක් හා සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී රු. මිලියන 395 ක් ලෙසින් දැක්විය හැකිය.

    මෙහිදී සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී හි කොටස් මිලියන 91.88 ක් ගනුදෙනු වූ අතර සමාගමේ ප්‍රධාන කොටස් හිමියා වූ කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සතුව සෙලාන් බැංකුවේ ආන්තික ගිණුමක වූ කොටස් ප්‍රමාණය මෙලෙසින් ගනුදෙනු වී තිබේ. වාර්තා වන අන්දමට මෙය කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් හි අභ්‍යන්තර පාර්ශව දෙකක් අතර සිදු වූ ගනුදෙනුවකි.