තොරතුරු දැන ගැනීමේ පනතේ භයානක පැත්තක් ගැන මහාචාර්ය රොහාන් සමරජීව අවධාරණය කරයි

    March, 2, 2015

    තොරතුරු දැන ගැනීමේ පනතින් පුද්ගලික අංශයේ ව්‍යාපාරික තොරතුරු දැනගැනීමේ අයිතිය ලබා නොදිය යුතු බවත් පුද්ගලික අංශයේ තරගකාරී රහස් ව්‍යාපාරික තොරතුරු දැන ගැනීමේ අයිතියද මෙම පනතින් ලබාදෙන්නේ නම් එය භයානක තත්ත්වයක් බවත් ලර්න් ඒෂියා ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා අවධාරණය කරයි.

    මේ නිසා, වත්මන් රජය විසින් කෙටුම්පත් කරමින් සිටින තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව අවධානයෙන් සිටිය යුතුයැයි මහාචාර්ය රොහාන් සමරජීව මහතා අප සමග කීය.

    2003 වසරේදී සකස්කළ මුල් කෙටුම්පතේ පුද්ගලික අංශයේ තොරතුරු දැනගැනීම ඇතුළත් කර නොතිබූ නමුත් පුද්ගලික අංශයේ තොරතුරු දැනගැනීම පිළිබඳව අදහසක් මේ වනවිට මතුව ඇතැයි පෙන්වා දුන් මහාචාර්යවරයා සඳහන් කළේ ලෝකයේ වෙනත් රටවල මෙවැනි පනත් වලින් ලබාදෙන්නේ රාජ්‍ය අංශයේ තොරතුරු දැන ගැනීමේ අයිතිය බවයි.

    රාජ්‍ය අංශය විසින් තරගකාරී නොවන ඒකාධිකාරී සේවා මහජන මුදලින් සපයන නිසා ඒවායේ විනිවිදභාවය ඇති කිරීම මෙවැනි පනතක මූලික අරමුණ බව හෙතෙම පෙන්වා දුන්නේය.

    “ව්‍යාපාරිකයින් මේ දිහා ටිකක් පරිස්සමින් බලන්න ඕන. තොරතුරු දැන ගැනීමේ අයිතිය ලෝකය පුරාම තියෙන්නෙ රජයේ කටයුතු පාලනය කරන්නයි.“

    යනුවෙන් මහාචාර්ය රොහාන් සමරජීව මහතා වැඩිදුරටත් පැවසීය.

    තොරතුරු දැන ගැනීමේ පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන්ගේ සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අදහස් යෝජනා ලබාගැනීම සඳහා සකච්ඡාවක් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වුණි.

    මෙම යෝජනා, පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද ක්‍රියාකාරී කමිටුවෙහි අවධානයට යොමු කරන බව ලේකම්වරයා මෙහිදී කීය.