තෝමස් කුක් බංකොලොත්. සංචාරකයෝ අතරමං

    September, 23, 2019

    1841 වසරේ දී ඇරඹි ලොව පැරණිතම සංචාරක සේවා සමාගමක් වන තෝමස් කුක් මේ වන විට මුළුමනින්ම බුංවත්භාවයට පත් වී තිබේ. මෙම වාතාවරණය සමඟ සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද ගුවන් ගමන් ඇතුළු සියලු සංචාරක සේවා ඊයේ (22) රාත්‍රියේ සිට නවතා දම ඇත. බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව ප්‍රකාශයට පත්කරන ලදී.

    කෙසේ වෙතත් සිය සේවා වහාම නවතා දැමීමට කටයුතු කිරීමත් සමඟම තෝමස් කුක් සමාගමේ සේවා ලබා ගන්නා ලද ලක්ෂ 6ක පමණ සංචාරකයින් ප්‍රමාණයක් මේ වන විට දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව BBC ප්‍රවෘත්ති සේවය කියා සිටී. මෙයින් 150,000 ක පමණ පිරිසක් බ්‍රිතාන්‍ය සංචාරකයින් වන අතර ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් ඔවුන් හට සිය නිවාඩු අවසාන කර නැවත බ්‍රිතාන්‍ය කරා පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වේ.

    දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටි තෝමස් කුක් සමාගම පසුගිය සිකුරාදා (20) කියා සිටියේ, තමනට ගොඩඒමට නම් වහාම ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් අවශ්‍ය බවයි.

    තෝමස් කුක් සමාගම කඩා වැටීම හේතුවෙන් ලොව පුරා රටවල් 16 ක 21,000 ක සේවකයින් ප්‍රමාණයකට මේ වන විට සිය රැකියා අහිමි වී තිබේ.