දකුණට එන ධනකුවේරයින් ඉලක්ක කර එයිට්කන් ස්පෙන්ස් පය පෙරට තබයි

    June, 27, 2014

    ධනවත් සංචාරකයින් ඉලක්ක කරමින් ස්පාඤ්ඤ හෝටල් ජාලයක් විසින් කළමනාකරණය කරන තරු පහේ සුපිරි හෝටලයක් අහුන්ගල්ලේ ඩොලර් මිලියන 100 ක ආයෝජනයකින් ඉදිකිරීමට එයිට්කන් ස්පෙන්ස් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹෙයි.

    මේ අනුව, හම්බන්තොට දක්වා ඉදිවෙමින් තිබෙන දකුණු අධිවේගී මාර්ගයත්, මත්තල ගුවන් තොටුපොළත් යන යටිතල පහසුකම් ඉලක්ක කරමින් කාමර 500 කින් යුතු මෙම වෙරළ හෝටලය විවෘත කිරීමට සැලසුම් කර තිබෙන අතර එය තට්ටු පහකින් සමන්විත වනු ඇතැයි සඳහන්ය.

    හෝටලය කළමනාකරණය කිරීමට තෝරාගෙන තිබෙන ස්පාඤ්ඤයේ RIU හෝටල් සමාගම ආසියා පැසිෆික් කළාපයේ හෝටල් ව්‍යාපාරික කටයුතු සඳහා පිවිසෙන පළමු ස්පාඤ්ඤ සමාගම බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

    මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් එයිට්කන් ස්පෙන්ස් සමූහයේ නියෝජ්‍ය සභාපති, රාජන් බ්‍රිටෝ මහතා පවසන්නේ සිය ව්‍යාපාරික සැලසුම සඳහා දකුණු අධිවේගී මාර්ගයෙන් හා මත්තල ගුවන් තොටුපොළින් හොඳ සහයෝගයක් ලැබෙනු ඇති බවත් රජයේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන සඳහා එයිට්කන් ස්පෙන්ස් සැමවිටම සහයෝගය ලබාදෙන බවයි.

    ස්පාඤ්ඤ RIU හෝටල් සමාගම විසින් රටවල් 16 කට අයත් හෝටල් 107 ක් මේ වනවිට කළමනාකරණය කරයි.