දකුණු පැසිෆික් කොටස් හුවමාරුව සහ කොළඹ කොටස් හුවමාරුව අතර අවබෝධතා ගිවිසුමක්

    January, 17, 2019

    ෆිජිහි පිහිටි දකුණු පැසිෆික් කොටස් හුවමාරුව (SPSE) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර සහයෝගීතාවය නංවාලීම තුලින් ෆිජියන් සහ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළෙහි සංවර්ධන අවස්ථා වර්ධනය කිරිමේ අපේක්ෂාවෙන් මෙම හුවමාරු දෙක අතර අවබෝධතා ගිවිසුමකට එළඹිම පසුගියදා සිදු විය. බොහෝ කොටස් හුවමාරු එම රටවල්වලට ආවේණික හැකියාවන් සතුව පැවැතීම නිසා සහයෝගීතා සහ තොරතුරු හා දැනුම් සම්භාරය හුවමාරු තුලින් රටවල් අතර වෙළෙඳපොළ සංවර්ධනය වැඩි දියුණු කළ හැකිය.

    මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිළිබදව SPSEහි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂිකා නාරයන් මහත්මිය පවසා සිටියේ, “SPSE හා CSE යන ආයතන දෙකෙහි සංවර්ධනයට මග පෙන්වන සාධක වන සහයෝගයෙන් කටයුතුකිරීමට අවශ්‍ය පසුබිම සහ දෙරටේ පොදු අරමුණු සාක්ෂාත් කරගැනීමේ අවස්ථා සැලසෙන නිසා මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම SPSE ආයතනයට ඉතා වැදගත් සංසිද්ධියක් වෙනවා” යනුවෙනි.

    මෙම ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක මහතා පවසා සිටියේ “ SPSE ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළඹීම මගින් ආසියානු පැසිෆික් කලාපීය කොටස් හුවමාරු සමග තවදුරටත් ශක්තිමත්ව සහයෝගයෙන් කටයුතු කිරීමට සහ කොළඹ කොටස් හුවමාරුවට (CSE) නව සංවර්ධන අවස්ථා බිහිකරලීමට අවකාශය සැලසෙනවා. මෙම අවබෝධතා ගිවිසුම තුලින් ෆිජියන් ප්‍රාග්ධන වෙළඳපොළට සම්බන්ධ ප්‍රධාන පාර්ශවකරුවන් සමග ඵලදායී සබඳතාවයක් ගොඩනැගීමට අප අපේක්ෂා කරනවා.” යනුවෙනි.

    1979 වර්ෂයෙහිදී ස්ථාපිත වුනු SPSE ආයතනය ෆිජි සමාගම් පනත මගින් ලියාපදිංචි එකම සුරැකුම්පත් හුවමාරු සමාගම වන අතර ෆිජිහි පිහිටි රීසව් බෑන්ක් ඔෆ් ෆිජි ආයතනය මගින් නියාමනය වේ.