දැවැන්ත පාඩු ලැබූවා යැයි කියූ වාර්තාවන්ට අර්ථ සාධක අරමුදලෙන් පිළිතුරු

    April, 23, 2014

    සේවක අර්ථ සාධක අරමුදල විසින් කොටස් වෙළඳ පොළේ කර තිබෙන ආයෝජන වලින් රුපියල් බිලියන ගණනක පාඩු ලබා ඇතැයි පළවී තිබෙන වාර්තාවන්ට අරමුදල පිළිතුරු ලබාදී තිබේ.

    මේ අනුව, අරමුදල පවසා තිබෙන්නේ සමහර මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දී තිබෙන්නේ විකුණා නැති කොටස් වලට අදාළ අලාභයන් (unrealized losses) බවයි. අදාළ කොටස්වල මිල අඩු වුවත් ඒවා තවදුරටත් සේවක අර්ථ සාධක අරමුදල විසින් දිගුකාලීනව තබා ගන්නා නිසා අරමුදල විසින් අලාභයක් වාර්තා කර ඇතැයි ප්‍රකාශ කිරීම නිවැරදි නොවන බව සඳහන්ය.

    මේ නිසා, විකුණා නොමැති කොටස් වලට අදාළව ලබන පාඩු හෝ ලාභ අරමුදලේ සාමාජිකයින්ගේ ප්‍රතිලාභ අඩු කිරීමට හෝ වැඩි කිරීමට හේතුවක් නොවන බව සේවක අර්ථ සාධක අරමුදල පවසා ඇත.

    විකුණා නොමැති කොටස් වලට අදාළ ලාභ හෝ පාඩු වරින් වර ඉතාමත් වේගයෙන් වෙනස් වන බවත් සමස්ත මිල දර්ශකය උපරිම අවස්ථාව දක්වා ඉහළ ගිය 2011 පෙබරවාරි 14 වනදා විකුණා නොමැති කොටස් වලට අදාළව අරමුදලට රුපියල් බිලියන 20.7 ක ලාභයක් (Unrealized gains) තිබුණද එය 2013 වසර අවසාන වනවිට රුපියල් බිලියන 9.0 ක පාඩුවක් වූ බව සඳහන්ය.

    අර්ථ සාධක අරමුදල විසින් විකුණා නොමැති කොටස් වලට අදාළව ලබා තිබෙන පාඩුව (unrealized losses) 2014 අප්‍රේල් 21 වනදා වනවිට රුපියල් බිලියන 4.4 ක් දක්වා අඩුවී ඇතැයි අරමුදල වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ අතර, අරමුදල පවසා තිබෙන්නේ 2009 වසරේ සිට 2013 වසර දක්වා අරමුදල විසින් වාර්තා කර තිබෙන ලාභය රුපියල් බිලියන 558 ක් ඉක්මවා ගොස් තිබෙන බවයි.