දිගුකරන ලෙන්ගතුකම වැළඳ ගැනීමට සූදානම් – මහින්ද කියයි

    February, 18, 2015

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් දිගු කරන සහෝදරත්වයේ ලෙන්ගතුකම වැළඳ ගැනීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් “මහින්දට ඡන්දය දුන් ලක්ෂ 58 ක ජනතා අභිලාෂයන් ඉටුකරමු“ මැයෙන් නුගේගොඩදී අද පස්වරුවේ පැවති ජනහමුවට සුභ පැතුමක් එක් කරමින් සඳහන් කළේය.

    මෙම සුභ පැතුම දයාන් ජයතිලක මහතා සභාවට ඉදිරිපත් කළ අතර මහින්ද රාජපක්ෂ මහතා මෙම ජනහමුවට සහභාගී නොවීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්වූයේ නැති බවත් පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට තිබෙන තුනෙන් දෙකක බලයෙන් සහ සුළුතර ආණ්ඩුවෙන් එය පෙනෙන බවත් මෙම පණිවුඩයේ සඳහන්ය.

    රටට ආදරය කරන ජනතාව කරන ඉල්ලීම් තමාට ඉවත දැමිය නොහැකි බවත් නුගේගොඩට පැමිණි ජනතා පවුර විසින් දිගුකරන දෑත් ඉතා තදින් අල්ලා ගන්නා බවත් මෙම පණිවුඩයේ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

    මෙම ජනහමුව ඇමතූ උදය ගම්මන්පිළ මහතා සඳහන් කළේ අගමැති අපේක්ෂකයා ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍ය යැයි නුගේගොඩ රැළියට පැමිණි ජනතාව කියන බවත් මැදමුලනට ජනතාව සමග ගොස් හෝ ඔහු ඒ සඳහා කැඳවාගෙන එන බවයි.