දින 12කට පසු කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

    August, 16, 2022

    අඛණ්ඩව දින 12 ක් පුරාවට ඉහළ ගිය කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් පළමු වරට අද (16) වාර්තා විය.

    ඒ අනුව අද (16) දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,086.24 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 105.28 ක හෙවත් 1.15% ක පහළ යාමකි.

    රු. බිලියන 5.40 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. එහිදී රු. බිලියන 1.54 ක වටිනාකමකින් යුතු ලංකා IOC සමාගමේ කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ අතර රු. 184.75 ක් දක්වා වූ ඉහළ මිලකට ද එම සමාගමේ කොටස් ගනුදෙනු වීම විශේෂත්වයකි.

    මීට අමතරව එක්ස්පෝලංකා හොල්ඩිංග්ස් රු. මිලියන 665.33 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. මිලියන 459.79 ක් හා ACL කේබල්ස් රු. මිලියන 320.41 ක් ලෙසින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබාදුන් සෙසු සමාගම් විය.

    අද දින සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීම සඳහා සමාගම් 77කින් ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණු අතර සමාගම් 131 කින්ම ලැබී තිබුණේ සෘණාත්මක දායකත්වයකි.