March, 12, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (12) දිනයේ ද දරුණු කඩා වැටීමකට ලක්වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 184.97 කින් පහළ ගොස් ඒකක 5,019.55 ක් සහ S&P SL20 දර්ශකය ඒකක 112.11 කින් පහළ ගොස් ඒකක 2,293.69 ක් වශයෙන් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව පිළිවෙලින් 3.55% ක හා 4.66% ක පහළ යාමකි.
මේ අතර අද පෙරවරු 11.44ට S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5% ක් ඉක්මවා පහළ යාම හේතුවෙන් දෛනික ගනුදෙනු මිනිත්තු 30 කට අත්හිටුවනු ලැබීය. S&P SL20 දර්ශකය මෙලෙස කඩාවැටීම හේතුවෙන් මෙම සතිය තුළ කොටස් ගනුදෙනු අත්හිටුවනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර පසුගිය අඟහරුවාදා (10) පෙරවරු 9.42 සිට පෙරවරු 10.12 දක්වා පැය භාගයක කලාය තුළද මෙයාකාරයෙන්ම ගනුදෙනු අත්හිටුවනු ලැබුණි.
මේ අතර අද දින ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 2,333.33 ක් වශයෙන් වාර්තා විය. කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා (10) ගනුදෙනු ආරම්භ වූයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 2,483.75 ක්ව තිබූ පසුබිමකය. මේ අනුව මාර්තු 10,11 හා 12 යන දින 3 තුළ දී රුපියල් බිලියන 150.42 ක් කොටස් වෙළෙඳපොළෙන් ගිලිහී ගොස් ඇත.
අද දින වර්තා වූ ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 514.43 කි. එහෙත් අද දිනයේ ගනුදෙනු සඳහා විදෙස් ආයෝජකයන්ගේ දායකත්වය පැවතියේ ඉතාමත් පහළ මට්ටමකය. ඒ අනුව අද දිනය තුළ විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 23.62 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 29.84 ක් ලෙසින් වාර්තා විය.

දිනය තුළ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යාම සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම්, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් හා ඩිස්ටිලරීස් ශ්‍රී ලංකා සමාගම් වැඩි දරයකත්වයක් ලබා දී ඇත.
2020 වසරේ මේ දක්වා කාලය තුළ දී සියලු කොටස් මිල දර්ශකයට අනුව 18.10% කින් කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇත.
ලොව පුරා වසංගත තත්ත්වයක් බවට නම් කර ඇති කොරෝනා වෛරස අර්බුදය මේ වන විට ගෝලීය ආර්ථිකයට සෘජු බලපෑමක් කර ඇති අතර ඒ හේතුවෙන් ලොව පුරා ප්‍රධාන පෙළේ කොටස් වෙළෙඳපොළ ගණනාවක් මේ වන විට කඩා වැටීමට ලක්ව තිබේ. පවතින තත්ත්වය තුළ මෙරට කොටස් වෙළෙඳපොළ ද කොරෝනා වෛරසයේ ගොදුරක් බවට පත්වෙමින් ඇති බව පසුගිය දින කිහිපය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනී යනු ඇත.

Video Story