දියුණු වීමට නම් විශාල වෙළෙඳපොළ වෙත යොමු විය යුතුයි – අගමැති, අධ්‍යක්ෂවරුන්ට කියයි

    June, 28, 2018

    ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂකවරුන්ගේ සමාගමේ 06 වැනි වාර්ෂික සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ, කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩෝරිස් (HE James Dauris), ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂකවරුන්ගේ සමාගමේ සභාපති ප්‍රීති ජයවර්ධන, උප සභාපති ෆයිසාල් සලී, ප්‍රධාන විධායක නිලධාරිනී චමින්දා ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුලූ එම සමාගමේ සාමාජිකයින් සහභාගි වී සිටියහ.

    මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියා සිටියේය.

    “ආර්ථික වර්ධනය කියන්නේ තවතවත් රැකියා, ආදායම් නිර්මාණය කිරීමයි. ආර්ථික වර්ධනයේ මූලික කාර්යභාරය අද වන විට පෞද්ගලික අංශයට පැවරී තිබෙනවා. මගේ ප්‍රශ්නය වන්නේ, එම අභියෝගය භාර ගැනීම සඳහා ප්‍රමාණවත් විශ්වාසයක් ඔබ සතුව පවතින්නේ ද යන්නයි. එය තීරණය වන්නේ අපගේ අධ්‍යක්ෂවරුන්ගේ හා ජ්‍යෙෂ්ඨ විධායකවරුන්ගේ දක්ෂතාවය අනුවයි.“

    “ඔබට දියුණු වීමට නම් විශාල වෙළෙඳපොළ වෙත යොමු විය යුතුයි. මිලියන 22 ක ජනතාවක් සිටින කුඩා වෙළෙඳපොළකින් එය ඉටුකර ගන්න ඔබට හැකිවන්නේ නැහැ. අපිට වඩා තරඟකාරී විය යුතු වෙනවා. තරගකාරී වීම තුළින් සාර්ථක වීමට බොහෝ අවස්ථාවන් උදාවෙනවා.“

    “මහාපරාක්‍රමබාහු රජතුමන් අද සිටියා නම්, ව්‍යාපාරිකයින් හා විවිධ වෙළෙඳ සංගම් ඔහුගෙන් අසාවි ඇයි අපේ ව්‍යාපාර විනාශ වෙන්නේ කියලා. අපිට විදේශයට ගිහින් වෙළෙඳාම් කරන්න කියලා.“

    “අපිට යුරෝපීය වෙළෙඳපොළට ප්‍රවේශවෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ජීඑස්පී ප්ලස් සහනය හරහා වැඩි වශයෙන් අපයනය සිදුකළ යුතුයි. මත්ස්‍ය නිෂ්පාදිත පමණක් නොවෙයි, ඇගළුම් හා ටයර් නිෂ්පාදිතත් ඊට ඇතුළත් විය යුතුයි. ඒ වෙනුවෙන් වෙනස් කළ යුතු නීතිරීති කිහිපයකුත් තිබෙනවා. එය එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.“

    “සංවර්ධන මූල්‍ය ක්‍රම ගැන කතා කළා. අපිට සංවර්ධන මූල්‍ය සංස්ථාවක් ආරම්භ කිරීමට අවශ්‍යයි. ඒ සඳහා මුදල් අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් සිටිනවා. එහි පාර්ශවකරුවන් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව, රාජ්‍ය බැංකු දෙකක් හා තවත් මෙරට බැංකු සම්බන්ධ වෙනවා. මේ සංසංථාව ස්ථාපිත කිරීමට කලින්ම රුපියල් බිලියන 10 ක් එහි පාර්ශවකරුවන් හරහා නිකුත් කිරීමට අපි කටයුතු කරනවා. එය මේ වසර සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන්.“