දිවි නසා ගැනීම් හමුවේ සිසුන්ට හා දෙමව්පියන්ට කඩිනම් Facebook පුහුණුවක්

    March, 13, 2014

    සුප්‍රසිද්ධ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියද ඇඳුණු ගෙල වැලලා ගැනීම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වීමෙන් පසුව ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ආරක්ෂාකාරීව හා සදාචාරාත්මකව භාවිතා කිරීම පිළිබඳව සිසුන් හා දෙමව්පියන් දැනුවත් කිරීමට රජය සූදානම් වේ.

    මේ අනුව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙවත් සර්ට් ආයතනය (Computer Emergency Readiness Team) සමග එක්ව සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය විසින් මෙම වැසටහන තවත් සති දෙකකින් පමණ ක්‍රියාත්මක කිරීමට මේ වනවිට ලහි ලහියේ වැඩ කටයුතු සූදානම් කරමින් තිබෙන බව අප වෙත අනාවරණය වේ.

    මෙම වැඩසටහන පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රකාශකයෙකු අප වෙත අදහස් දැක්වූයේ මෙසේයි.

    “මෙම දැනුවත් කිරීම යටතේ දිවයිනේ සියළුම පාසැල්වල දැනුවත් කිරීම් සිදුකරනවා. මෙහිදී, පාසැලේ උදෑසන රැස්වීමේදී සිසුන් දැනුවත් කළ යුතු ආකාරය පිළිබඳව විදුහල්පතිවරුන්ට ලබාදෙන උපදෙස් මාලාවක් සකසනවා. මීට අමතරව, සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන ආකාරය පිළිබඳව පාසැල් සිසුන් හා දෙමව්පියන් දැනුවත් කිරීමට වෙන වෙනම වීඩියෝ පට දෙකක්ද සකස් කරනවා.“

    පාසැල්වල දැනුවත් කිරීම් වලට අමතරව මාධ්‍ය මගින්ද මෙම දැනුවත් කිරීම් සිදු කිරීමට සැලසුම් කර තිබේ.

    මේ වනවිට, මෙරට ෆේස්බුක් ගිණුම් මිලියන 02 කට වැඩි ප්‍රමාණයක් තිබෙන අතර ඒවා භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙවත් සර්ට් ආයතනය (Computer Emergency Readiness Team) වෙත ලැබෙන පැමිණි ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ ගොස් ඇත.

    මෙරට පාසැල් සිසුවියන් දෙදෙනෙකු ෆේස්බුක් සම්බන්ධ ප්‍රශ්න නිසා පසුගිය කාලයේ සිය දිවි හානිකර ගත්තේය.