දුම්රිය සේවයේ 5,500 ක සේවක හිඟයක්. වැඩි හිඟය ද්වීතීක කාර්ය මණ්ඩලයේ

    August, 27, 2019

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2018 කාර්ය සාධන වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.

    දකුණු ආසියාවේ වඩා කාර්යක්ෂම දුම්රිය ප්‍රවාහන සැපයුම්කරු බවට පත්වීම සිය ‘දැක්ම‘ කරගනිමින් සහ මගී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා ආරක්ෂිත, විශ්වාසදායී, නියමිත වේලාවට ධාවනය වන සකසුරුවම් හා කර්යක්ෂම දුම්රිය ප්‍රවාහන සේවාවක් සැපයීම සිය ‘මෙහෙවර‘ කරගනිමින් ක්‍රියාත්මක ලංකා දුම්රිය සේවාවට සිය දැක්ම සහ මෙහෙවර සාක්ෂාත් කර ගැනීමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති බව 2018 කාර්ය සාධන වාර්තාව විසින් පෙන්වා දී තිබේ.

    මෙම වාර්තාවට අනුව කාර්ය මණ්ඩලයේ අනුමත මුළු සේවක සංඛ්‍යාව 20,443කි. නමුත් දැනට සේවයේ යෙදෙන්නේ 14,885 දෙනෙකි. එනම් රාජකාරියේ යෙදෙන්නේ අනුමත සේවක සංඛ්‍යාවෙන් 72%ක ප්‍රමාණයකි. සේවකයින් 5,558ක හිඟයක් ඇත.

    මෙම වාර්තාවට අනුව විධායක කාර්ය මණ්ඩලය සඳහා 212 ක පිරිසක් අනුමත වුවද දැනට සේවයේ යෙදෙන්නේ 137ක පිරිසකි. අදාළ සේවක හිඟය දැඩි ලෙස කැපී පෙනෙනනේ ද්වීතීක කාර්ය මණ්ඩලයෙනි. එහි අනුමත ප්‍රමාණය 11,215ක් වන අතර වර්තමාන සේවක සංඛ්‍යාව සටහන් වන්නේ 6,385ක් වශයෙනි. එනම් ද්වීතීක කාර්ය මණ්ඩල සාමාජිකයින් 4,830 ක් සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රරප්පාඩු පවතින බව මෙම වාර්තාවේ සඳහන්ය.

    මීට අමතරව සිටිය යුතු තෘතික කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය 415ක් වන අතර දැනට සිටින්නේ 146ක් පමණි. එසේම කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහා 8,601ක් අනුමත වී සිටිය ද දැනට ඇත්තේ 8,217 කි.

    මෙම කාර්ය මණ්ඩල හිඟය පිළිබඳව 2018 කාර්ය සාධන වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    දෛනික සේවා පවත්වා ගෙන යෑමේදී සියලුම අංශවල පවතින කාර්ය මණ්ඩල හිඟය නිසා අදළා කටයුතුවල දී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ.

    තවද සමස්තයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවක සංඛ්‍යාෙවන් ඉතා විශාල සංඛ්‍යාවක් විශ්‍රාම යෑමෙන් හෝ වෙනත් හේතූන් මත ඉවත් වේ.

    තවද මෙම අවශ්‍ය අංශවල පවතින් සේවක පුරප්පාඩු නිසා ඒවායේ අත්‍යාවශ්‍ය සේවා (දුම්රිය නඩත්තු, අලුත්වැඩියා, සාමාන්‍ය පරිපාලන කටයුතු. මෙහෙයුම් කටයුතු, මාර්ග නඩත්තු, සංඥා පද්ධතිය නඩත්තු හා අලුත්වැඩියා ආදිය) පවත්වා ගෙන යෑම සඳහා වැය වන අතිකාල දීමනා ද වාර්ෂිතව ඉතා ඉහළ අගයක පවතී.