දුමිත් ප්‍රනාන්දු කොටස් වෙළෙඳපොළ සභාපති ධූරයට

    June, 28, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා වශයෙන් දුමිත් ප්‍රනාන්දු මහතා ඒකමතිකව පත්කර තිබේ. මීට පෙර සභාපතිධූරය දැරූ රේ අබේවර්ධන මහතාගේ වසර 3ක ධුර කාලය අවසන් වීමෙන් පසු 2020 ජූලි 01 දින සිට බලපැවැත්වෙන පරිදි දුමිත් ප්‍රනාන්දු මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා වශයෙන් පත් වී ඇත.

    දශක දෙකක පමණ කාලයක ඇමෙරිකානු එක්සත් ජනපදයේ සහ ආසියාවේ ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු ලෙස පළපුරුද්දක් හිමි දුමිත් ප්‍රනාන්දු මහතා, 2015 වර්ෂයේ සිට  ඒෂියා සෙකියුරිටිස් සමාගමෙහි සභාපති හා ප්‍රධාන කොටස් හිමියකු ලෙසද කටයුතු කරයි. ඔහු Credit Suisse (හොංකොං ප්‍රදේශයේ) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක හා සමුහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධුරය හෙබවිමට පෙර  Credit Suisse සහ JP Morgan යන සමාගම්වල ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස ධුරය හොබවමින් රටවල් 12ක මෙහෙයුම් කටයුතු අධීක්ෂණයෙහි  නිරත විය. තවද නිව්යෝක් සහ හොංකොං නගරවල පිහිටි JPMorgan සමාගමෙහි සාංගමික මුල්‍ය කටයුතු, M&A උපදේශක, පෞද්ගලික සුරැකුම්පත් ආයෝජනය සහ සාංගමික උපායමාර්ග යන අංශවලද විවිධ තනතුරු  ඔහු විසින් දරා ඇත.

    ගෝලිය වත්කම් කළමනාකරන සමාගමක් වන හොංකොං Tybourne Capital Management සමාගමෙහි ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස කටයුතු කරන එම මහතා සමාගම් කිහිපයක වීධායක නොවන සභාපති ලෙස කටයුතු කරමින් පවතී.  2013 වර්ෂයේදී World Economic Forum යන ගෝලීය සංසදය විසින් ඔහුව Young Global Leaders සංසදයට තෝරා පත් කරන ලදී.

    දුමිත් ප්‍රනාන්දු මහතා මිඩ්ල්බරී කොලේජ් (Middlebury College) වෙතින් භෞතික සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධියෙන්ද හාවඩ් බිස්නස් ස්කුල් (Harvard Business School) විශ්ව විද්‍යාලයෙහි MBA උපාධියෙන්ද පිදුම් ලබා ඇත.

    කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සමාජික තැරැව්කාර සමාගම් විසින් පත්කර ගත් අධ්‍යක්ෂවරුන් පස් දෙනකුගෙන්ද ශ්‍රී ලංකා රජය විසින් පත්කර ගත් අධ්‍යක්ෂවරුන් සතර දෙනකුගෙන්ද සමන්විත වේ.