දෙසැම්බර් උද්ධමනය ඉහළට

    January, 24, 2017

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 නොවැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.1 හි සිට 2016 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. 2016 දෙසැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2016 දෙසැම්බර් මාසයේ දී පසුගිය මාසයේ වාර්තා වූ සියයට 4.0 හි නොවෙනස්ව පැවතුණි.

    මාසික වෙනස්වීම සැලකූ විය ජාතික පාරිභෝගික මිල දර්ශකය 2016 නොවැම්බර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 116.6 සිට 2016 දෙසැම්බර් මාසයේ දී දර්ශක අංක 118.0 දක්වා ඉහළ ගියේය. ආහාර කාණ්ඩයට අය.් අයිතමයන් හි මිල ගණන් ඉහළ යෑම මෙම මාසික ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතුවිය.ආහාර කාණ්ඩය තුළ සහල්, පොල්, මාළු, එළවළු, අර්තාපල්, ලොකු ළූණු, පැපොල් සහ බිත්තර මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේය.

    ආහාර නොවන කාණ්ඩය තුළ රෙදිපිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, ප්‍රවාහන, ආපනශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා උපකාණ්ඩයන් හි මිල ගනන් ඉහළ ගියේය. නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන, විනෝදාත්මක හා සංස්කෘතික සහ මධ්‍යසාර පාන හා දුම්කොළ උපකාණ්ඩයෙහි මිල ගණන් 2016 දෙසැම්බර් මාසය තුළ දී පහළ ගියේය. මේ අතර සෞඛ්‍ය, සන්නිවේදන සහ අධ්‍යාපන උපකාණ්ඩයන්හි මිල ගණන් මාසය තුළ දී නොවනෙස්ව පැවතුණි.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකය මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 6.8 හි සිට දෙසැම්බර් මස දී සියයට 6.7 දක්වා පහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2016 නොවැම්බර් මස වාර්තා වූ සියයට 5.8 සිට 2016 දෙසැම්බර් මස දී සියයට 5.9 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.