දෙසැම්බර් උද්ධමනය 8.4% සිට 7.3% දක්වා පහළට

    January, 23, 2018

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 නොවැම්බර් මාසයේ පැවති සියයට 8.4 ට සාපේක්ෂව 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.3 ක් දක්වා පහළ ගියේය. 2016 දෙසැම්බර් මාසයේ දී පැවති ඉහළ පදනම් අගය මෙම පහළ යෑමට හේතුවිය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.5 හි සිට 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.7 දක්වා ඉහළ ගියේය.

    මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 නොවැම්බර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 126.4 හි සිට 2017 දෙසැම්බර් මාසයේ දී දර්ශක අංක 126.6 දක්වා ඉහළ ගියේය. ආහාර කාණ්ඩයට අයත් අයිතමයන් හි මිල ගණන් ඉහළ යෑම, මෙම සුළු මාසික ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවියත එළවළු, මාළු සහ රතුළූණුවල මිල ගණන් පහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි සැලකිය යුතු මිල ඉහළ යෑමක් වාර්තා නොවිණි.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මූලික උද්ධමනය, වසරේ මුල් මාසවල සිට පෙන්නුම් කළ ආකාරයට තවදුරටත් පහළ යෑමේ නැඹුරුවක් අනුගමනය කළේය. ඒ අනුව, ලක්ෂ්‍යමය පදනම මත 2017 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 2.8 හි සිට 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 2.7 දක්වා පහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2017 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 5.2 හි සිට 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 4.9 දක්වා පහළ ගියේය.