දෙසැම්බර් කාර්තුවේ දී ලංකා IOC ලාභ සියයට 80 කින් බසී

    February, 17, 2017

    බදු ඉහළ යාම හා මිල පාලන නීති හේතුවෙන් 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී ලංකා IOC සමාගමේ ලාභය 2015 දෙසැම්බර් කාර්තුව හා සැසඳීමේ දී රුපියල් මිලියන 257.5 දක්වා සියයට 80 කින් පහළ ගොස් තිබේ.

    සිය නවතම මූල්‍ය වාර්තාවන් කොළඹ කොටස් වෙළෙඳපොළ ඉදිරිපත් කරමින් සමාගම විසින් මේ බව හෙළිදරව් කර ඇත. මේ අතර 2016 සැප්තැම්බර් කාර්තුවේ දී වාර්තා කළ රුපියල් මිලියන 1,461 ක ලාභය හා සැසඳීමේ දී මෙය සියයට 82 ක ලාභ පහළ යාමකි.

    කෙසේ වෙතත් 2016/17 මූල්‍ය වර්ෂයේ පළමු මාස 09 තුළ දී ලංකා IOC සමාගම රුපියල් මිලියන 3,171 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබෙන අතර පූර්ව මූල්‍ය වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයේ ලාභ අගය වූ රුපියල් මිලියන 680 හා සැසඳීමේ දී සියයට 446 ක ලාභ වර්ධනයක් මේ දක්වා අත්පත් කර ගෙන තිබේ.

    2016 වසර ආරම්භයේ දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 38 ක් පමණ වූ අතර වසර අවසානයේ දී එම අගය ඩොලර් 50 ක් ඉක්මවා යන ලදී.